CLOSE

ජාතික පිළිකායතනයේ නේවාසික පිළිකා රෝගීන් සඳහා ක්‍රියාත්මක කර තිබූ මහා පරිමාණ තැඹිලි දාන වැඩසටහන 2026 ජූනි 1 වැනිදා සිට සම්පූර්ණයෙන්ම නවතා දැමීමට තීරණය කර ඇති බව රෝහල් පාලනාධිකාරිය නිවේදනය කර තිබේ.

සතියේ දින හත පුරාවටම ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන රෝහල් භූමියේ රසායනාගාර ආසන්නයේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර, විධිමත් අවසරයකින් තොරව බාහිර පුද්ගලයන් රැසක් ද ඒ සඳහා එක්වූ බව නිරීක්ෂණය වූ බව රෝහල් පාලනාධිකාරිය සඳහන් කරයි.

සෑම දිනකම පරිත්‍යාගශීලී කණ්ඩායම් විසින් තැඹිලි ගෙඩි 1,000ත් 1,500ත් අතර ප්‍රමාණයක් රැගෙන එනු ලැබූ අතර, අයහපත් කාලගුණික තත්ත්වයන් පැවති දිනවලදී ද මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකර ඇති බව නිවේදනයේ සඳහන්.

රෝගී සත්කාර සේවාවට අහිතකර බලපෑම්

මේ සම්බන්ධයෙන් ජාතික පිළිකායතනයේ අධ්‍යක්ෂවරයා විසින් සිදු කළ නිරීක්ෂණ සහ විශේෂඥ වෛද්‍යවරුන්, අංශ ප්‍රධානීන් සහ රෝහල් කමිටුව සමඟ පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවලදී රෝගී සත්කාර සේවාවට අහිතකර බලපෑම් රැසක් පිළිබඳ අවධානය යොමු වී තිබේ.

විශේෂයෙන්ම ප්‍රතිශක්තිකරණය දුර්වල වූ අසාධ්‍ය පිළිකා රෝගීන්ට ප්‍රමිතියකින් තොර හා සෞඛ්‍යාරක්ෂිත නොවන ආකාරයෙන් තැඹිලි වතුර ලබාදීම, ආරක්ෂිත මුව ආවරණ හා අත්වැසුම් නොමැතිව බාහිර පුද්ගලයන් වාට්ටු තුළට ඇතුළු වීම, රෝගීන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අයුරින් ඡායාරූප හා වීඩියෝගත කිරීම් සිදුකර ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම යන කරුණු පිළිබඳ දැඩි අවධානය යොමු වී ඇති බව සඳහන් .

එමෙන්ම, 1980 අංක 26 දරණ ආහාර පනත සහ 2011 ආහාර සෞඛ්‍යතා නියෝගවලට අනුකූල නොවන ආකාරයෙන් මෙම ක්‍රියාවලිය පවත්වාගෙන යාම, රෝහල් පරිශ්‍රය තුළ අනාරක්ෂිත තත්ත්වයක් මතුවීම සහ ඇතැම් නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගල කණ්ඩායම් මෙම වැඩසටහන සමඟ සම්බන්ධ බවට වාර්තා වීම ද තීරණයට බලපා ඇති බව පාලනාධිකාරිය පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, රෝහලේ රෝගීන් සඳහා දෛනිකව අවශ්‍ය වන තැඹිලි ගෙඩි සංඛ්‍යාව 100ත් 200ත් අතර ප්‍රමාණයක් බව ඇස්තමේන්තු කර ඇති අතර, එම අවශ්‍යතාව සපුරාලීම සඳහා පරිත්‍යාගශීලීන්ට ආහාර ඇණවුම් නිලධාරියා මඟින් ප්‍රධාන මුළුතැන්ගෙට තැඹිලි භාරදීමට අවසර ලබාදී ඇති බව ද ජාතික පිළිකායතනය දැනුම් දෙයි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.