CLOSE

මැදපෙරදිග කළාපයේ හදිසියේ හටගත් යුදමය වාතාවරණයත් සමග එම ගුවන් අවකාශ වසා දැමීම නිසා ශ්‍රී ලන්කන් ගුවන් යානා 02 ක් පැයකට අධික කාලයක්, එම කළාපයට ආසන්න ඉහළ අහසේ පියාසර කරමින් සිට තිබේ.

කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් සහ දමාම් බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් යානා 02 ක් , මෙම තත්වයට මුහුණ දී ඇති අතර පසුව යාන දෙක එම ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමුවන් සමත් වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා පවසයි.

මෙම ගුවන්යානා දෙක අද උදෑසන වනවිට, යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඊයේ (14) පස්වරු 5.10ට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 229 දරන ගුවන්යානය කුවේට් රාජ්‍යයේ සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙතත්, රාත්‍රී 06.36ට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 253 දරන ගුවන්යානය දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙතත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.

A - 321නියෝ වර්ගයේ ගුවන් යානා දෙකක් වන මෙය මැදපෙරදිග කලාපය වෙත ආසන්න වෙත්ම, ඉරානය විසින් මෙම කලාපය වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාළාවක් එල්ල කර තිබුණි.

ඒ සමඟම කුවේට් රාජ්‍යය සහ සෞදි අරාබිය තම ගුවන් අවකාශයන් වසා දැමීමට පියවර ගෙන තිබූ අතර, එම රටවල් බලාපිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් යානා දෙක, ආපසු කටුනායක වෙත පැමිණීමට අවශ්‍ය ඉන්ධන ද ප්‍රමාණවත් නොවීම නිසා, එම කලාපය ආසන්නයේ ඉහළ අහසේ පැය 1යි විනාඩි 10ක කාලයක් පියාසර කරමින් සිට පසුව ගුවන් කලාපය විවෘත කළ පසු මෙලෙස ගොඩබැස්වීමට කටයුතු කර තිබුණි. 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.