CLOSE

පොහොර සහනාධාරය, වාරි පුනරුත්ථාපනය, සිරගෙවල්වල ගැටලු විසදීම වෙනුවට මේ වනවිට රටේ ලොකුම ජාතික ප්‍රමුඛතාව වී ඇත්තේ විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස ඉහළ දැමීම වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (09) රුවන්වැල්ල ප්‍රදේශයේ කන්නන්තොට රොෂානා ශාලාවේදී පැවැති සමගි වනිතා බල මණ්ඩලයේ රුවන්වැල්ල ශාඛාව පිහිටුවීමේ අවස්ථාව හා එක්වෙමිනි.

"දැන් හැමෝගේම අවධානය යොමු වෙලා තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ මොකද රජය කියනවා එක තනි ප්‍රශ්නයයි තියෙන්නේ මේ රටේ විසඳන්න. ඒක කරහම එක පෑන් පාරෙන් ඔක්කොම ප්‍රශ්න විසඳෙනවලු. ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස ඉහළ දැමීම තමයි රටේ ලොකුම ප්‍රමුඛතාවය. ජාතික ප්‍රමුඛතාවය. පෝර සහනාධාරයක් ලබා දෙන එක, ඇලවේලි වැව් පද්ධති නිර්මාණය කරන එක, වාරි සංස්කෘති බිහි කරන එක හිරගෙවල් වල තිබෙන ප්‍රශ්න වලට විසඳුන් ලබා දෙන එක, ඒවා වැඩක් නෑ. රටේ ලොකුම ප්‍රශ්නය මේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම.

මම අහන්න කැමතියි ගම්වල ජීවත් වෙන නගරවල ජීවත් වෙන ඔබගෙන්. දැන් අර විනිසුරුවන්ගේ වයස අර විශ්‍රාමයාමේ වයස වැඩි වුණයි කියලා ඔබගේ බඩ කට පිරෙනවද? දුප්පත්කම තුරන් වෙනවද? විරැකියා ප්‍රශ්නයට විසඳුම් ලැබෙනවද? ඒකක්වත් වෙන්නේ නැහැ. මේ විශ්‍රාම වයස වැඩි කිරීම තුළ මේ රජය බලාපොරොත්තු වුණු පොහොසත් රට ලස්සන ජීවිතය නිර්මාණය වෙන්නේ නැහැ. නිර්මාණය වෙන්නේ එකම එක දෙයයි එක පක්ෂයක් මුළු රටම පාලනය කරන වැඩ පිළිවෙල. ප්‍රජාතන්ත්‍රවාදය කඩා වැටෙනවා. නීතිය ආධිපත්‍යයට බරපතල තර්ජනයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා." 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.