CLOSE

"රණවිරුවෝ ජීවිත කැප කරලා ලබාගත්තු ජයග්‍රහණ හෑල්ලුවට දානවා. රණවිරුවාගේ පදක්කම, රණවිරුවාගේ ලාංඡනය, රණවිරුවාගේ පදක්කම, රණවිරුවා ලබාපු අභිමානය ඔවුන්ගේ දරුවන්ට, මුනුපුරන්ට, මිනිපිරියන්ට ආඩම්බරයෙන් පෙන්නන්න තියෙන පදක්කමට මොකක්ද කියන්නේ? "යකඩ කෑල්ලක්" කියලා කියනවා. ලැජ්ජයි! මෙහෙම රටක අපි ජීවත් වෙන්නේ කියලා රණවිරුවෝ කල්පනා කරනවා ඇති," ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්

රාජපක්ෂ පැවසීය

ඔහු මේ බව ප්‍රකාශ කලේ 2026.07.04 දින මාතර කොටපොළ පැවති රැස්වීමක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ ,

"අද අපි ඔබ හම්බවෙන්නෙ මේ මැතිවරණ කාලෙක නෙවෙයි. තාම මැතිවරණයක් සම්බන්ධයෙන් ආණ්ඩුවට අදහසක් නෑ.මොකද ආණ්ඩුව දන්නවා ඡන්දෙකට ගියොත්, පළාත් සභා එහෙම තිබ්බොත් රිදෙනවා. හැබැයි අද අපි ගමෙන් ගමට යනකොට අපේ හාමුදුරුවනේ, හැම ගමකම ජනතාව අපි එක්ක අත්වැල් බැඳගන්නවා. අපිට ඡන්දය දීපු, නොදීපු, පහුගිය මැතිවරණවල හිත් බිඳිලා, රිදිලා හිටපු, අපෙන් ඈත් වෙච්ච, වර්තමාන ආණ්ඩුවෙන් යම් වෙනසක් බලාපොරොත්තු වෙච්ච තරුණයෝ, වැඩිහිටියෝ, බොහෝ පිරිසක් අද අපි එක්ක එකතු වෙනවා. ඒ විශ්වාසය මත.මොකද අපි වැඩ කරපු දේශපාලන පක්ෂයක්. සහ අපි කියපු දේ කරලා තියෙනවා. කියපු දේ කරලා තියෙනවා.

​අද මේ ගම්වලට ආවහම, මේ ගමක දකින්න තියෙන සංවර්ධනය අපේ ආණ්ඩුවලින් කරපුවා. හැබැයි එදා ජේ.වී.පී. එක මොකක්ද කරේ ඒ හැම සංවර්ධනයක්ම නවත්තන්න උපරිම උත්සාහ කරා. ඒ හැම සංවර්ධනයක්ම නවත්තන්න උපරිම උත්සාහ කරා පමණක් නෙවෙයි, ඒ සංවර්ධන ව්‍යාපෘති හැම එකක්ම හොර ව්‍යාපෘති කියලා හංවඩු ගැහුවා. කොළඹ වරාය නගරය හදන්න සීගිරියත් කඩන්න ඕනේ කියලා කිව්වා.මම සතුටු වෙනවා එහෙම කියපු ජනාධිපතිවරයා අද තමන් යන හැම විදේශ සංචාරයකදීම පෝට් සිටි එක ගැන කතා කරනවා. ඒකට ආයෝජකයන්ට එන්න කියනවා, ඒක  හොඳයි. මම සතුටු වෙනවා ඒක ගැන, මොකද එතුමා අද වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා පිළිගන්නවා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හදපු කොළඹ වරාය නගරය තමයි මේ රටේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් වෙන්න පුළුවන් කියලා.
​වරාය හදනකොට ගල් තියෙනවා කියලා කිව්වා. උමා ඔයේ හිලක් තියෙනවා කියලා කිව්වා. නෙළුම් කුළුණ හදන්නෙ උඩට ගිහිල්ලා පනින්නද කියලා ඇහුවා. අද එහෙම කියපු අය තමන්ගේ සංවර්ධන වැඩපිළිවෙළ ඇතුළේ මේවා ගැන කතා කිරීම ගැන අපි සතුටු වෙන්න ඕනේ. හැබැයි අවාසනාවකට මේ අයට මේවයේ උපරිම ප්‍රයෝජන ගන්න තාම තේරෙන්නේ නෑ. මේවයේ ප්‍රතිලාභ ගමේ ජනතාවට, දෙනියායේ දරුවාට, කොටපොළ දරුවාට ලබා දෙන්න පුළුවන් සැලැස්මක් අද ආණ්ඩුවට නෑ. ඒ දැක්ම ආණ්ඩුවට නෑ.

​අධිවේගී මාර්ගය හැදුවහම බල්ලන්ට බලල්ලුන්ට පාර මාරු වෙන්න බැහැයි කියපු නායකයෙක් අද ඉන්නේ. එහෙම නායකයෙක්ට  මේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ගම්වල දෙමාපියන්ගේ දරුවන්ට ලබා දෙන්න පුළුවන් දැක්මක් තියෙනවද නැද්ද කියන ප්‍රශ්නය අපි ඔවුන්ගෙන් අහලා වැඩක් වෙන්නේ නෑ. අද එක පැත්තකින් මහා සංඝරත්නයට අපහස කරනවා.ආගමික නායකයෝ විවේචනය කරද්දී, ඉලක්ක සහගතව ගරුතර මහා සංඝරත්නයේ, සම්බුද්ධ ශාසනයට අගෞරව කරද්දී, ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපාරය ඇතුළේ, ආණ්ඩුවේ ජේ.වී.පී. එකේ දේශපාලන දැක්ම ඇතුළේ, ආගමෙන් දහමෙන් දරුවෝ ඈත් කරලා තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ න්‍යාය පත්‍රය උපරිම ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා.

​මං දැක්කා එක නිලධාරියෙක්, ලංකාවේ ප්‍රධාන පෙළේ නිලධාරියෙක්, රණවිරුවන්ගේ මෙඩල් එක ගැන තහඩු කෑල්ලකට සීමා කරනවා. ටයි එකයි කෝට් එකයි දාගෙන, ටයි එකයි කෝට් එකයි ඇඳගෙන, හමුදාවෙන් හෝ එස්.ටී.එෆ්. එකෙන් හරි පොලීසියෙන් ආරක්ෂක භටයොත් අරගෙන කොළඹ අවට ඇවිදින මහත්වරුන්ට ඔවුන් ලබපු අභිමානය සහ ඔවුන් කරපු කැපවීම යකඩ තහඩුවක් වගේ පේන්න පුළුවන්. ඒක කොළඹ හතේ, කොළඹ වටේ ටයි එකයි කෝට් එකයි ඇඳගෙන රණවිරුවන්ගෙම ආරක්ෂාව අරගෙන, එස්.ටී.එෆ්. එකෙන් ආරක්ෂාව අරගෙන, පොලීසියෙන් ආරක්ෂාව අරගෙන යන ඔන්න ඔය විදිහට මහත්තයෙක්ට ඒක යකඩ කෑල්ලක් වගේ පේන්න පුළුවන්. හැබැයි ඒ පදක්කම පිටිපස්සේ, මෙඩ්ල් එක පිටිපස්සේ, ඒ මහත්තයා දකින විදිහට යකඩ කෑල්ල පිටිපස්සේ ඔවුන්ගේ ජීවිතයත් මරණයත් අතර සටන.
​අද මේ රටේ හැම අම්මා කෙනෙකුගෙම දරුවෙක් නිදහසේ හුස්ම ගන්න, ඒ හැම හුස්ම පොදක්ම, අද මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, දෙමාපියන්ගේ දරුවන්, වැඩිහිටියන් නිදහසේ ජීවත් වෙනවා. රණබිමේ ලේ හලපු හැම රණවිරුවෙක්ම, ආබාධිත තත්ත්වයට ලක්වෙච්ච හැම රණවිරුවෙක්ටම ඒ වටිනාකමක් තියෙන, වටිනාකමක් දීපු යකඩ කෑල්ලක් කියන එක ඒ අයට අමතකයි.

​අපි දකිනවා හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගන්නවා. බුද්ධි අංශ ප්‍රධානීන් හිරගත කරනවා. ආණ්ඩුවේ සැලැස්ම මොකක්ද? අද වෙනකොට අධිකරණ පද්ධතිය ඇතුළේ අවුරුදු 12ක් 10ක් යනවා අපරාධ නඩු අහන්න. ගමේ තරුණ පිරිස් අදත් ඉන්නවා සමහර බොරු නඩුවලට අහුවෙච්ච අය. විදේශ රැකියාවකට යන්න විදිහක් නෑ අපේ හාමුදුරුවනේ, පොලිස් වාර්තාවක් ගන්න විදිහක් නෑ. පොලිස් වාර්තාවක් ගන්න විදිහක් නෑ. සමහර මිනිස්සු අවුරුදු 20, 30 උසාවි යනවා.
​දැන්, ඒ නඩු හරින්න කරන්න මොකක්ද ආණ්ඩුවේ සැලැස්ම.අපේ නඩු නම් මාස හයෙන් අහනවා.අපේ ඒවනම් මාස හයෙන් අහනවා, කමක් නෑ. මේ අර මනුස්සයන්ටත් සාධාරණයක් කරන්න. ඒ අයටත් සාධාරණයක් වෙන්න ඕනේ.
​රණවිරුවන්ට ගැරහුවට, මහා සංඝරත්නයට අපහාස කරාට, දේශපාලනික වශයෙන් අපෙන් පළිගන්න උත්සාහ කරාට මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ කියන එක ආණ්ඩුව මතක තියාගන්න. මිනිස්සුන්ගේ බඩගින්නට උත්තරයක් ඕනේ. ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළට උත්තරයක් ඕනේ.

​ආණ්ඩුවේ මොකක්ද සැලැස්ම දළු ටිකට සාධාරණ මිලක් දෙන්න. ආණ්ඩුවේ මොකක්ද සැලැස්ම තේ ගොවියට, වී ගොවියට පොහොර ටික දෙන්න. අද වෙනකොට පොහොර මිටිය රුපියල් 15,000යි 20,000යි අතර යන්නේ. ආණ්ඩුව පොහොර එනකොට සහනයක් දෙනවා කියනවා ගොවියන්ට, ඒ පොහොර ටික එනකොට පොහොර ගහන කාලේ පනිනවා. එතකොට ඒ පොහොර වැඩක් නෑ.
​මෙන්න මේක තේරුම් ගන්න බැරි ආණ්ඩුව හිතාමතා පිටරටින් හාල් ගේනවා. ලංකාවේ ගබඩාවල තියෙන වී ටික සත්ත්ව ආහාරවලට දෙනවා. පිටරටින් හාල් ගේනවා. ගොයම් කපනකොට ගොවියාගේ ආර්ථිකයට දැඩි පහරක් එල්ල කරනවා. අවසානයෙන් තේ ගොවියා අසරණ කරනවා. තේ ගොවියට ලැබෙන ආදායම නැති කරලා තියෙන්නේ අද.
​ඇහුවම කියනවා ලෝකේ යුද්ධයක් තියෙනවලු. ඉතින් ඕකේ හැමදාම ලෝකේ කොහේ හරි තැනක යුද්ධයක් තිබ්බා. දැන් ගෝඨාභය මහත්තයා කාලේ රුසියාවයි යුක්‍රේනෙයි ගහගත්තා. අපි මිනිස්සු වෙනුවෙන් පෙනී හිටියා. අපි අසාධාරණ බදු ගැහුවේ නෑ. අද ජනතාවට දරාගන්න බැරි බදු ප්‍රමාණයක් ජනතාවට දෙන්නේ ආණ්ඩුව.
​එහෙම කරලත් ජනතාවගේ ජීවන වියදම වැඩි වෙනවා දිනෙන් දින. විදුලි බිල වැඩි කරනවා, තෙල් මිල වැඩි කරනවා. 100ක් වැඩි කරලා 20ක් අඩු කරලා අප්පුඩි ගහනවා. ​අපි සහනයක් දුන්නහම කාටද දීලා තියෙන්නේ? හැබැයි අනිත් පැත්තෙන් රණවිරුවෝ ජීවිත කැප කරලා ලබාගත්තු ජයග්‍රහණ හෑල්ලුවට දානවා. රණවිරුවාගේ පදක්කම, රණවිරුවාගේ ලාංඡනය, රණවිරුවාගේ පදක්කම, රණවිරුවා ලබාපු අභිමානය ඔවුන්ගේ දරුවන්ට, මුනුපුරන්ට, මිනිපිරියන්ට ආඩම්බරයෙන් පෙන්නන්න තියෙන පදක්කමට මොකක්ද කියන්නේ? "යකඩ කෑල්ලක්" කියලා කියනවා. ලැජ්ජයි! මෙහෙම රටක අපි ජීවත් වෙන්නේ කියලා රණවිරුවෝ කල්පනා කරනවා ඇති. පිටරටවල අභිමානයෙන් තමන්ගේ රාජ්‍ය නායකයා හම්බවෙන්න යනකොට රණවිරුවන් ඒ පදක්කම් ටිකයි, මෙඩල් ටිකයි එල්ලගෙන යන්නේ.

​අද ඒ අයට අගෞරවයට ලක් කරන්න, අභිමානය විනාශ කරන්න, කොන්ද බිඳින්න, උත්සාහ කරන්නේ කාගෙද මේ සැලැස්ම? කාව සතුටු කරන්නද? කාගේ අවශ්‍යතාවය, උවමනාව ඉටු කරන්නද? තවත් පැත්තකින් මේ රටේ ආර්ථිකය කඩන් වට්ටන තැනට ආණ්ඩුව තල්ලු කරනවා. ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයෝ කීපදෙනෙක් අපේ රටේ කෝටිපති, ප්‍රකෝටිපතියෝ වෙනවා. ආණ්ඩුවට හිතවත් කීපදෙනෙක් හම්බ කරගන්න, ගමේ අහිංසක කඩමණ්ඩියේ ඉන්න කඩේ වෙළඳාම් කරගෙන, බුලත් විටක් විකුණගෙන අසාධාරණ බදු ගෙවලා ආර්ථික වශයෙන් කඩන් වැටෙනවා.

​තරුණයාගේ විරැකියා ප්‍රශ්නයට ආණ්ඩුවේ විසඳුම මොකක්ද? උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නයට ආණ්ඩුවේ විසඳුම මොකක්ද? දැන් උසස් පෙළ ලියන දරුවෝ.උසස් පෙළ ලියන දරුවෝ විශාල පීඩනයක ඉන්නේ. විභාගය කලින් අරගෙන, හැබැයි මේ ගැන කතා කරලා ඇහුම්කන් දෙන්න ආණ්ඩුවෙන් කවුද ඉන්නේ? උසස් පෙළ කරන දරුවන්ට ඇහුම්කන් දෙන්න ආණ්ඩුවේ කවුද ඉන්නේ? ඒ ඇහුම්කන් දීලා ඒ ළමයි වෙනුවෙන් පෙනී ඉන්නේ කවුද?
​අවසානයේ මොකක්ද මගේ ආදරණීය අම්මේ, තාත්තේ, ආණ්ඩුව මර්ධනය වගේම ජනතාවට තර්ජනය කරනවා. ගොවි ජනතාවට කිව්වේ මොකක්ද? "පෝර නෑ කිව්වොත් පොලිසියෙන් ඇතුලට දානවා" යි කිව්වා. තේ ගොවියාටත් එහෙමයි. උපාධිධාරීන් පාරට ආවහම ගහලා පන්නනවා. ධීවරයාට "SMS එකෙන් මාලු ඉන්න තැන දෙනවා" කියපු ආණ්ඩුව අද තෙල් ටික ගහගෙන SMS එකක් ගහන්නවත් විදිහක් නෑ ධීවරයාට.
​ඒ තැනට මේ රටේ ආර්ථිකය, ජනතාව පිට අසාධාරණ විදිහට පීඩනය දාන ආණ්ඩුවක් අද මේ රටේ තියෙන්නේ. ඒ හින්දා තමයි අද අපි ගම්වලට යනකොට රටේ ජනතාව අපිත් එක්ක එකතු වෙන්නේ. අත්වැල් බැඳගන්නේ. ඒ හින්දා මගේ ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරා, සහෝදරී, මිත්‍රවරුනි, මෙතන ඉන්න අය, ජීවත් වෙන්න වෙහෙස මහන්සි වෙන දෙමව්පියන්, අපි ඔබතුමන්ලාට කියන්නේ, අපි එකතු වෙමු. අපි සියලු දෙනාම ඒකරාශී වෙමු, අපි දැවැන්ත බලවේගයක් හදමු මේ මහපොළොවට ගැලපෙන. මහපොළොව හඳුනන, ඔබේ දාඩිය සුවඳ, ඔබේ දරුවාගේ හෙට දවස පිළිබඳව අපේක්ෂාවක් ගොඩනගන්න පුළුවන්, බොරු කියන්නේ නැති, ඇත්ත පෙන්නන, යථාර්ථයත් එක්ක ගනුදෙනු කරන, ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ශක්තිමත් බලවේගයක් අපි හදමු. ඒ සඳහා ඔබතුමන්ලා එකතු වෙන්න, අත්වැල් බැඳගන්න කියලා ආරාධනය අපි කරනවා.
​මම ස්තූතිවන්ත වෙනවා සියලුම දෙනාට. අපේ සංවිධායකතුමා ඇතුළු, අපේ දිස්ත්‍රික් නායකතුමා ඇතුළු, රුවන් ඇතුළු මේ සියලුම දෙනාට අද සාර්ථක රැස්වීමක් පවත්වනවා වගේම, අපි අපේ ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරා, සහෝදරී, මිත්‍රවරුනි, අත්වැල් බැඳගෙන ශක්තිමත්ව දේශපාලනිකව ගොඩනැගෙමු කියන ආරාධනය කරමින්, ඔබ සියලු දෙනාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා! තෙරුවන් සරණයි! ස්තූතියි!

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.