CLOSE

ඉය­ර්ෆෝන් (Earphones) පැලඳ මාර්ගයේ ගමන් කිරීම නිසා පදි­ක­යන් අන­තු­රට ලක්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් එවැනි පදිකයන්ට එරෙහිව ඉදි­රි­යේදී අධි­ක­රණ ක්‍රියා­මාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොලී­සියේ රථ­වා­හන පාලන හා මාර්ග ආර­ක්ෂාව පිළි­බඳ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි මනෝජ් රණ­ගල පවසයි.

මේ ආකා­ර­යෙන් ගමන් ගන්නා පදි­ක­යන්ට දැනට අව­වාද කිරීම් පම­ණක් සිදු කළ ද ඉදි­රි­යේදී අධි­ක­රණ ක්‍රියා­මාර්ග ගැනී­මට නිය­මිත බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි මනෝජ් රණ­ගල මේ බව කියා සිටියේ ජූලි 6 සිට 10 දක්වා පැවැත්වෙන 11 වැනි ජාතික අන­තුරු නිවා­රණ සතිය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාං­ශයේ පැවති මාධ්‍ය හමු­ව­කදී අද­හස් පළ කරමිනි.

මාර්ග අන­තුරු නිසා දින­කට 10ක්  මරු දකී

මාර්ග අන­තුරු නිසා දින­කට පුද්ග­ල­යන් 10 දෙන­කුට වඩා මිය­යන අතර, 2026 වසරේ ජන­වාරි 01 දා සිට ජූනි 30 දක්වා සිදුවූ රථ­වා­හන අන­තුරු 1,323කින් පුද්ග­ල­යන් 1,389 දෙනකු මර­ණ­යට පත්ව ඇත.

2025 වස­රට සාපේ­ක්ෂව මෙම වස­රේදී අන­තුරු සංඛ්‍යාව 105කින් ද, මරණ සංඛ්‍යාව 107කින් ද ඉහළ ගොස් තිබේ.

අන­ව­ධා­නය, අප­රි­ක්ෂා­කාරී බව, මාර්ග නීති උල්ලං­ඝ­නය කිරීම සහ අධික වේගය මෙන්ම වාහ­න­වල සහ මාර්ග­වල පව­තින දුර්වල නඩ­ත්තුව ද මෙම අන­තුරු සඳහා ඍජු­වම බල­පාන බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරිවරයා, මෙම අන­තු­රු­ව­ලින් වැඩි වශ­යෙන්ම විප­තට පත්වන්නේ පදි­ක­යන් සහ පාපැ­දි­ක­රු­වන් බවද කීවේය.

ඉදි­රි­යේදී මාර්ග නීති තදින් ක්‍රියා­ත්මක කර දැඩි දඬු­වම් ලබා දීම­ටත්, රියැ­දුරු බල­පත්‍ර අව­ලංගු කිරී­ම­ටත් කට­යුතු කෙරෙනු ඇති බවයි එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ.

 

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.