CLOSE

සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත්වන ආණමඩුව වැනි බහුසංස්කෘතික ප්‍රදේශයක ජාතීන් අතර සහයෝගය සහ සංහිඳියාව තවදුරටත් ශක්තිමත් කිරීමට පරිණත ආගමික නායකත්වයක් අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරනවා .

ආණමඩුවේ ධර්මකීර්ති ශ්‍රී පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත රාජවන්නි සහ කුමාරවන්නි දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම වෙනුවෙන් අද (13) ආණමඩුව සුදම්පායෙහි පැවති සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවය අමතමිනුයි අගමැති මේ බව සඳහන් කළේ .

"ආණමඩුවේ ධර්මකීර්ති ශ්‍රී පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේ, වසර 50කට ආසන්න පැවිදි දිවියක් සහ වසර 35ක ගුරු සේවයක් තුළින් බුද්ධ ශාසනයට මෙන්ම රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ යතිවරයාණන් වහන්සේ නමක්.

උන්වහන්සේ හුදෙක් ආගමික වතාවත්වලට පමණක් සීමා නොවී, ප්‍රදේශයේ දරුවන්ගේ සහ පොදු ජනතාවගේ දුකේදීත් සැපේදීත් සෙවණැල්ලක් මෙන් සිටිනවා. විශේෂයෙන්ම පසුගිය වසරේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් පුත්තලම දිස්ත්‍රික් ජනතාවට සහන සැලසීමේදී උන්වහන්සේ ලබාදුන් මානුෂීය නායකත්වය මුළු මහත් ප්‍රදේශයටම ශක්තියක් බව සිහිපත් කළ යුතුයි.

පරමාකන්ද රජමහා විහාරය ඇතුළු ඓතිහාසික පුණ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය කරමින් ඒවා අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කිරීමට උන්වහන්සේ දරන වෙහෙස ප්‍රශංසනීයයි.

සහකම්පනයෙන් පිරි ජනතාවක් වෙසෙන ‘නව පුනරුද යුගයක්’ කරා රට මෙහෙයවීමේ රජයේ අරමුණ සාක්ෂාත් කර ගැනීමේදී, උන්වහන්සේ වැනි ප්‍රායෝගික ආගමික නායකයින්ගේ මගපෙන්වීම සහ ආශිර්වාදය රජයට ඉතාමත් වටිනා බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.