CLOSE

ළමයින් සමඟ සෘජුව කටයුතු කරන රැකියා සඳහා රාජ්‍ය සේවයට බඳවා ගන්නා පුද්ගලයන් ළමා අපරාධ සම්බන්ධයෙන් චෝදනා හෝ සම්බන්ධතාවක් නොමැති බව තහවුරු කෙරෙන සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි.

යෝජිත ක්‍රමවේදය යටතේ, අදාළ සහතිකය පොලීසිය හෝ බලයලත් නිල ආයතනයක් මගින් ලබා ගැනීමට සිදුවනු ඇත.

එමෙන්ම, දැනට රාජ්‍ය සේවයේ නිරත නිලධාරීන්ටද සේවා කඩඉම් සහ වැටුප් වර්ධක ලබා ගැනීමේදී, අදාළ කාලසීමාව තුළ තමන් ළමා අපරාධ සම්බන්ධයෙන් කිසිදු ආකාරයකට සම්බන්ධ වී නොමැති බව තහවුරු කරන සහතිකය යාවත්කාලීන කර ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

"රාජ්‍ය සේවයට ප්‍රවේශ වෙන, විශේෂයෙන්ම දරුවන්ට ප්‍රවේශය සහිත රැකියාවලට බඳවා ගැනීමේදී ඒ පුද්ගලයන් ළමා අපරාධ සම්බන්ධ චෝදනා නොලද පුද්ගලයන් හැටියට තහවුරු කරගැනීම සඳහා සහතික කරවා ගැනීමේ අවශ්‍යතාවය අපි කැබිනට් පත්‍රිකාවක් මගින් තහවුරු කරගැනීමට කටයුතු කරනවා. ඒක අපි ඒකට අදාළ කැබිනට් පත්‍රිකාව යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි බලන්නේ රාජ්‍ය සේවයට ප්‍රවේශ වන අවස්ථාව වන විට ඔවුන් දරුවන් සම්බන්ධව, දරුවන්ට ප්‍රවේශය සහිත රැකියා කරන අය ළමා අපරාධවලට චෝදනා නොලැබූ, නැත්නම් අපරාධකරුවන් ලෙස චෝදනාවක් නොලද අය විය යුතුයි කියන එක. ඒක නිසා ඒ සහතිකකරණය අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවය තුළ ඉන්න අයත් අඛණ්ඩව ඔවුන්ගේ සේවා කඩයිම්වලදී, ඒ වගේම වැටුප් වර්ධකවලදී ඒ අදාළ කාලපරාසයන් තුළ සහතිකය අලුත් කරගන්න ඕනේ. හේතුව තමයි ඔවුන් ඒ අදාළ කාලපරාසය තුළ ඒ ළමා අපරාධවලට සම්බන්ධ අයවලුන් නෙවෙයි කියන සහතිකය අවශ්‍යයි. ඉතින් මේ වගේ දේවල් අපිට රටක් හැටියට ඉදිරියට යාමේදී අවශ්‍ය වෙනවා."

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.