CLOSE

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනුමැතිය ලබාදී තිබේ.

මැද පෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ගෝලීය ආර්ථිකයට එල්ල වී ඇති අහිතකර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය වීමේ අරමුණින් මෙම මූල්‍ය පහසුකම ලබාදෙන බව වාර්තා වේ.

මෙම ණය මුදල, වෙළෙඳාම, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගත් ප්‍රතිපත්තිමය ණය වැඩසටහනක් යටතේ ශ්‍රී ලංකාවට හිමිවන බව සඳහන්ය.

එම මුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් මැද පෙරදිග අර්බුදය හේතුවෙන් රටට එල්ල වී ඇති ආර්ථික පීඩනය අවම කිරීම සඳහා අතිරේක මූල්‍ය සහායක් ලෙස වෙන්කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ, දුරස්ථ ගැටුම්වල බලපෑම හේතුවෙන් කිසිදු පවුලක් නැවත දරිද්‍රතාවයට ඇද වැටීමට ඉඩ නොතැබිය යුතු බවයි.

මෙම වැඩසටහන මගින් රැකියා අවස්ථා පුළුල් කිරීම, නව ආයෝජන ආකර්ෂණය කර ගැනීම, වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම සහ ආර්ථික වර්ධනයට අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කෙරේ.

ඒ අනුව වෙළෙඳ පද්ධති නවීකරණය කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ තරගකාරීත්වය ඉහළ නැංවීම, ආර්ථික කලාප වෙත ආයෝජන ගෙන්වා ගැනීම සහ අපනයන වර්ධනයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.