ඔක්තෝබර් 13 FCID එන්න : ශිරන්තිට දැනුම්දෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ඔක්තෝබර් මස 13 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි පොලීසිය දැනුම්දී තිබේ.
*ශ්‍රී ලංකාව වෙලූ නීති විරෝධී ඇමතුම් මධ්‍යස්ථාන ජාලය: *CID දත්ත හෙළිකරන අඳුරු සයිබර් ජාවාරම සහ චීන කල්ලිවල ආධිපත්‍යය *408ක් අත්අඩංගුවට 284ක් චීන ජාතිකයින්
මෑත කාලය තුළ ශ්‍රී ලංකාව තුළ සයිබර් අපරාධ සහ පරිගණක මූල්‍ය වංචා සීඝ්‍ර ලෙස ඉහළ යාම පිටුපස රහසිගතව ක්‍රියාත්මක වන නීති විරෝධී ඇමතුම් මධ්‍යස්ථාන (Illegal Call Centers / Boiler Rooms) විශාල ප්‍රමාණයක් පවතින බව හෙළිදරව් වී තිබේ. අග්නිදිග ආසියානු රටවල සිදුවූ දැඩි මර්දනයත් සමඟ මෙම ජාත්‍යන්තර අපරාධ සින්ඩිකේටයන්(Syndicates) සිය ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථාන ශ්‍රී ලංකාව වෙත විමධ්‍යගත කර ඇති අතර, මෙම ජාවාරමේ වඩාත්ම සංවේදී කාරණය වන්නේ ඉන් වැඩි පිරිසක් චීන ජාතිකයින් වීමයි.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (RTI) යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන අංශයෙන් (ලිපි අංක: PA/DCI/DC 750/25750/20, දින: 2026.09.18) ලබාගත් නිල තොරතුරු මගින්ද මෙම තත්ත්වයේ බරපතලකම තහවුරු වේ.
ඇමතුම් මධ්‍යස්ථාන වැටලීම් සහ චීන ජාතිකයින්ගේ නියෝජනය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය 2021 මාර්තු 24 වන දින ආරම්භ කර ඇති අතර, එදින සිට 2026 ජූලි 31 දක්වා කාලය තුළ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ඇමතුම් මධ්‍යස්ථාන (Illegal Call Centers / Boiler Rooms) සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රධාන වැටලීම් ගණන 05කි.
වැටලීම්වලදී අත්අඩංගුවට ගනු ලැබූ දෙස් විදෙස් ජාතිකයින් (2021 සිට 2026 ජූලි 31 දක්වා)
පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ඉල්ලාසිටි තොරතුරු වෙනුවෙන්, ලබාදුන් තොරතුරුවලට අනුව, 2021, 2022 සහ 2025 වසරවල මෙම විශේෂිත ඇමතුම් මධ්‍යස්ථාන වැටලීම් යටතේ අත්අඩංගුවට ගැනීම් සිදු කර නොමැති අතර එසේම, සයිබර් වංචාවලට අදාළව ගිණුම් අත්හිටුවීම්/රාජසන්තක කිරීම් වලට අදාල තොරතුරු RTI පනතේ 05(1)(ඌ) වගන්තිය ප්‍රකාරව ලබා දිය නොහැකි බවත්, මෙයට අදාලව පාකිස්ථානය සමඟ ඒකාබද්ධ විමර්ශන පවත්වා නොමැති බවත්, මාර්ගගත සූදු (Online Gambling) සහ පිරමිඩ වංචා සම්බන්ධයෙන් එම අංශය මගින් විමර්ශන සිදු නොකරන බවත් වැඩිදුරටත් සඳහන් කර ඇත.
දත්ත මගින් හෙළිවන තීරණාත්මක කරුණු
කෙටි කාලයක් තුලදී නීති විරෝධී ඇමතුම් මධ්‍යස්ථානවලින් අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයන් 408 දෙනාගෙන් 284 දෙනෙකුම (69.6% ක්) චීන ජාතිකයින් වේ. 2026 පළමු මාස 7 තුළ අත්අඩංගුවට ගත් 201 දෙනාගෙන් 152 දෙදෙනෙකුම චීන ජාතිකයින් වීම මගින් මෙම නීති විරෝධී ඇමතුම් මධ්‍යස්ථාන මෙහෙයවීමේ ප්‍රධාන කොටස්කරුවන් බවට ඔවුන් පත්ව ඇති බව අතිශය පැහැදිලිය.
නීති විරෝධී ඇමතුම් මධ්‍යස්ථාන (Illegal Call Centers / Boiler Rooms) ක්‍රියාත්මක වන ආකාරය (Modus Operandi) සම්බන්ධයෙන් සැලකිලිමත් වීමේදී මෙම සංවිධානාත්මක අපරාධ කල්ලි ඉතා සංකීර්ණ සහ සැලසුම් සහගත ක්‍රමවේදයක් ඔස්සේ සිය ජාලයන් මෙහෙයවනු ලබන බවට පෙනී යන සත්‍යකි.
විශේෂයෙන්ම Telegram, Facebook සහ LinkedIn හරහා "Data Entry" හෝ "Online Marketing" සඳහා ඉහළ වැටුප් දෙන බව පවසමින් විදේශිකයින් (විශේෂයෙන් චීන, වියට්නාම,) මෙරටට ගෙන්වා ගනී. ඉන්පසු ඔවුන්ගේ ගමන් බලපත්‍ර (Passports) අත්පත් කරගෙන, හුදෙකලා සුඛෝපභෝගී බංගලා සහ හෝටල් තුළ සිරකර තබමින් "Scam Centers" තුළ නීති විරෝධී ඇමතුම් සහ පණිවිඩ යැවීමට බල කරයි.
බොහෝවිට සංචාරකයින් ලෙස පැමිණෙන මෙම පිරිස් නිවාස, නිවාස සංකීර්ණ මිලදී ගෙන සමුහ වසයෙන් රැදී සිටීම සිදුකරමින් මෙම අපරාධ ජාලයන් මෙහෙයවීම සිදුකරනු ලබයි, එසේ රැදී සිටින බොහොමයක් චීන ජාතිකයින්ට අනෙකුත් සේවා සපයනු ලබන්නේද චිනජතිකයින් විසින්ම වීම නිසා ඔවුන් මෙරටට පැමිණ සිටීමෙන් කිසිදු විදේශ විනිමයක්ද මෙරටට නොලැබෙන අතර වක්‍රව එහි වැඩි කොටසක් නැවත ගලා යන්නේ චිනයටම වේ.
SIM Boxes භාවිතය සහ සන්නිවේදන ජාවාරම
මෙම ඇමතුම් මධ්‍යස්ථානවල ප්‍රධානම මෙවලම වන්නේ SIM Boxes ය. එකවර SIM කාඩ්පත් සිය ගණනක් සවි කළ හැකි මෙම යන්ත්‍ර මගින් එකවර දහස් ගණනකට ව්‍යාජ ඇමතුම් ලබාදීම සහ Phishing SMS යැවීම සිදු කරයි. තමන් ශ්‍රී ලංකාවේ සිටියද IP ලිපිනයන් යුරෝපය හෝ ඇමරිකාව ලෙස පෙන්වීමට VPN සහ ප්‍රොක්සි තාක්ෂණය භාවිත කරයි.
"Pig Butchering" සහ මූල්‍ය ආයෝජන වංචා
සමාජ මාධ්‍ය හරහා ඉලක්කගත පුද්ගලයන් සමඟ ප්‍රේම සම්බන්ධතා හෝ විශ්වාසනීය මිත්‍රත්වයන් ගොඩනගාගෙන (Pig Butchering), ව්‍යාජ ගුප්ත මුදල් (Cryptocurrency) හෝ විදේශ විනිමය ආයෝජන වේදිකාවල මුදල් තැන්පත් කිරීමට සැලැස්වීම මොවුන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගයයි. මුලින් කුඩා ලාභ ලබාදී විශ්වාසය තහවුරු කර, පසුව විශාල මුදලක් ලබාගත් පසු අතුරුදහන් වෙති. බොහෝ විට මෙම අපරාධවල හසු වන්නන් ලජ්ජාවට හෝ වෙනත් කාරණාවන් හේතුවෙන් නිතිය හමුවට නොයා සිටීම නිසා මේවයේ බොහෝ තොරතුරු වසන් වෙමින් තිබේ.
සමාජ මාධ්‍ය ගිණුම් හැක් කිරීම සහ Phishing සම්බන්ධයෙන් සොයා බැලීමේදී අනාවරණය වුයේ WhatsApp සහ Facebook ගිණුම් Phishing ලින්ක් හරහා හැක් කර, අදාළ පුද්ගලයන්ගේ හිතවතුන්ගෙන් මෙරට පුද්ගලික බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කරගැනීමේ ජාවාරම්ද මෙම ඇමතුම් මධ්‍යස්ථාන හරහා සිදු කරයි.
චීන ජාතිකයින් සිය සයිබර් අපරාධ මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකාව තෝරාගන්නේ ඇයි?
මෙම ජාල ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වුවද, ඔවුන්ගේ ප්‍රධාන ගොදුරු බවට පත්වන්නේ චීනයේ වෙසෙන චීන වැසියන්ය. විදේශ රටක සිට මෙහෙයුම් සිදු කිරීම මගින් චීන පොලීසියට ඔවුන්ගේ භෞතික පිහිටීම සහ Server IP ලිපින හඹා යාම අතිශය අසීරු වේ.
සංචාරක හෝ ව්‍යාපාරික වීසා මත මෙරටට ඇතුළු වීමට ඇති පහසුව සහ වීසා කාලය ඉක්මවා රහසිගතව රැඳී සිටීමට ඇති ඉඩකඩ මොවුන්ට වාසිසහගත වී ඇත. ආගමන විගමන දෙපාර්තමේන්තු දත්තවලට අනුව 2023 සිට 2026 දක්වා පිටුවහල් කළ විදේශිකයන් 385 දෙනාගෙන් 307 දෙනෙකුම චීන ජාතිකයින් වීමෙන් මේ බව තහවුරු වේ.
අධිවේගී අන්තර්ජාල පහසුකම් පැවතීම මෙන්ම, රුපියල් ලක්ෂ 5 සිට 10 දක්වා වූ අධික මාසික කුලියකට පොලිසියට දැනුම් නොදී නිවාස ලබාදෙන දේපල නියෝජිතයන් සහ ව්‍යාජ තොරතුරුවලට SIM කාඩ්පත් දහස් ගණනින් ලබාදෙන දේශීය තැරැව්කරුවන්ගේ සහායද මොවුන්ට ලැබී තිබේ.මෙය මෙම ත්ත්වයේ බරපතල පැතිකඩකි.
කළ යුත්තේ කුමක්ද?
විදේශිකයන්ට නිවාස හෝ මහල් නිවාස කුලියට දීමේදී ඔවුන්ගේ වීසා වර්ගය සහ තොරතුරු ප්‍රදේශයේ පොලිසියට වාර්තා කිරීම අනිවාර්ය කෙරෙන නීති පැනවීම මෙන්ම එක් අයෙකුට ලබාගත හැකි SIM කාඩ්පත් සංඛ්‍යාව සීමා කිරීම සහ SIM Boxes වැනි උපකරණ මෙරටට ගෙන්වීම දැඩි ලෙස පාලනය කිරීම.එමෙන්ම චීන සහ ඉන්දීය ආරක්ෂක අංශ මෙන්ම ඉන්ටර්පෝල් (Interpol) සමඟ එක්ව ඒකාබද්ධ සයිබර් විමර්ශන ඒකක සක්‍රීය කිරීම.සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා සම්බන්ධයෙන් පවතින නීති වත්මන් තාක්ෂණික අවශ්‍යතාවලට ගැලපෙන සේ කඩිනමින් සංශෝධනය කිරීම වේ.
ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී ඇමතුම් මධ්‍යස්ථාන (Boiler Rooms) ජාලයක් ලෙස ව්‍යාප්ත වීම රටේ ජාතික ආරක්ෂාවට, මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට සහ ජාත්‍යන්තර කීර්ති නාමයට එල්ල වී ඇති දැවැන්ත තර්ජනයකි. පොලිස් නිල දත්ත මගින් තහවුරු වන පරිදි මෙම ජාවාරමේ මූලිකයන් ලෙස චීන ජාතිකයින් ක්‍රියා කිරීම හුදෙක් සයිබර් අපරාධයක් පමණක් නොව සංවිධානාත්මක ජාත්‍යන්තර ජාවාරමක කොටසකි. බලධාරීන් වහා ක්‍රියාත්මක වී දැඩි නීතිමය සහ තාක්ෂණික පියවර නොගතහොත්, සංචාරක පාරාදීසයක් ලෙස පැවැති ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සයිබර් අපරාධකරුවන්ගේ ප්‍රධාන තෝතැන්න බවට පත්වීම වැළැක්විය නොහැක.
rahulnews.srilanka@gmail.com
facebook- Rahul Samantha Hettiarachchi (https://www.facebook.com/rahulsamanthahettiarachchi )
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ඔක්තෝබර් මස 13 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි පොලීසිය දැනුම්දී තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.
British Airways වසර 11කට පසු යළිත් ලන්ඩන් ගැට්වික් (LGW) – කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (CMB) අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් කර තිබේ.