CLOSE

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට තමන් අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබේ.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක දර්ශනපති අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මහා නායක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සමඟ වත්මන් ආර්ථික, සමාජයීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් කෙටි පිළිසඳරකට ද එක් වෙමිනි.

දීර්ඝ සාකච්ඡාවකින් සේම ජනමත විචාරණයකින් පසුව පමණක් එය සිදු කිරීම තම අපේක්ෂාව බවත්, පසුගිය රජයන් විසින් ඔවුන්ට අවශ්‍ය ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදු කළා මිස ජනතාවගේ එකඟතාව අනුව එය සිදු නොකළ බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා රට යම් මට්ටමකට ස්ථාවර කර ජනතාව විසින් අපේක්ෂා කරන ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් කර ඇත.

අමරපුර මහා නිකායේ ලේකම් මණ්ඩලයේ නායක ස්වාමීන් වහන්සේලාද එම අවස්ථාවට වැඩම කර සිටී අතර මෙහිදී  උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

පශ්චාත් මැතිවරණ සමයේ ප්‍රචණ්ඩ ක්‍රියාවකට ඉඩ නොදීම මහා සංඝරත්නයේ ඇගයීමට

අමරපුර මහා නිකායේ මහානායක හිමිපාණන් වහන්සේ පෙන්වා දුන්නේ රටේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් ශක්තිමත් රාජ්‍යයක් ගොඩනගා ගත යුතු බවයි. එවිට ලෝකයේ ස්වාධීන රටක් ලෙස ශ්‍රී ලංකාවට නැඟී සිටිය හැකි බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මෙම අවස්ථාව දේශපාලනික වශයෙන් සංක්‍රාන්ති සමයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කළයුතු බොහෝ කාර්යයන් මැතිවරණයේදි හිමිවන පුර්ණ පාර්ලිමේන්තු බලය සමඟ මීට වඩා වේගවත්ව ක්‍රියාවට නැංවීම තම අරමුණ බවද පැවසීය.

මෙවර පශ්චාත් මැතිවරණ සමයේ දී කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවකට හෝ කලබලකාරිත්වයකට ඉඩ නොදෙමින් ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම රටට ලබාදුන් ආදර්ශය ද මෙහිදී මහා සංඝරන්යේ ඇඟයීමට ලක් කෙරිණි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනාධිපතිවරයාට විරුද්ධව ආගම මුල් කර ගනිමින් අවලාද ව්‍යාපාරයක් ක්‍රියාවට නැංවීමට ඇතැම් කණ්ඩායම් සංවිධානාත්මකව ක්‍රියා කළ  බව පෙන්වා දුන් මහා සංඝරත්නය එම ප්‍රකාශ සාවද්‍ය බව මේ වන විටත් තහවුරු වී තිබෙන බව පැවසීය. නමුත් මෙවන් අවලාද ව්‍යාපාර ඉදිරියේදී ද ඇතිවීමට ඉඩ ඇති බව පෙන්වා දුන් මහා සංඝරත්නය ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලය අනුව ජනතාව පෙන්වා දී ඇති බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක අපහාස සහ අවලාද වලින් තම කණ්ඩායම පිළිබඳ මවා තිබු චිත්‍රය සහ බිය මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කළ බවත්, ඒවා සියල්ල ප්‍රවාද බව මේ වන විට තහවුරු වී තිබෙන බවත් කියා සිටියේය.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.