CLOSE

මැතිවරණය නියමිත දිනයට පැවැත් විය යුතු බවට තමන් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ හමුවේ මේ බව ප්‍රකාශ කළේය.

"2015දී ජනාධිපතිවරයාගේ කාලසීමාව වසර 6 සිට වසර 5ක් දක්වා අඩු කිරීමට යෝජනා කළේ මමයි. අද මේ රටේ ජනතාව ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. ඒ අනුව අස්වැසුම වැඩසටහන හරහා ජනතාවට සහනයක් ලබාදීමට රජය මේ වනවිට කටයුතු කර තිබෙනවා." යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ වැඩ සිටින නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  සංඝ මූලස්ථානය වෙත ඊයේ (05) පස්වරුවේ පැමිණි ජනාධිපතිවරයා මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ආශිර්වාද පළ කළ මහා නායක හිමිපාණන් වහන්සේ ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.