CLOSE

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය, පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

අද(15) පෙරවරු 11.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට පෙරවරු 11.30 දක්වා වලංගු වෙයි.

ශ්‍රී ලංකාවට නැගෙනහිරින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය පීඩන අවපාතයක්  දක්වා වර්ධනය වී ඇත.

අද පෙ.ව. 5.30 වන විට මෙම පද්ධතිය, ත්‍රිකුණාමලය සිට කි.මී. 600ක් පමණ දුරින්, ඊසාන දෙසින් ස්ථානගත වී තිබුණි.

තවදුරටත් මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඈතින් උතුරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (16) උදෑසන වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත්, රාත්‍රී කාලයේ දී, දකුණු සහ යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව 'සුළි කුණාටුවක් දක්වාත්, අනිද්දා (17) වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව' ප්‍රබල සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත.

එමනිසා, උතුරු අක්ෂාංශ 05ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලත් නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතු වලින් වැලකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.

එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවන් ආරක්‍ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.