කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා එහි ප්‍රතිකාර අවසන් කර ජන. 12 වන දා නැවත බන්ධනාගාර රෝහල වෙත මාරු කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී. බී. දිසානායක පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

 

සිරකරුගේ ප්‍රතිකාර අවසන් බැවින් නැවත වැලිකඩට ඇතුළු කිරීමට හැකි දැයි බන්ධනාගාර අධිකාරිවරයා කරන ලද විමසීමකට අනුව, සිරකරුට තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බවට බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කර ඇතැයි එම නිවේදනයේ දැක්වේ.

 

ඒ අනුව, ඉදිරි ප්‍රතිකාර සම්බන්ධව ජන.15 දින දැනුම් දෙන බව බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කර ඇති බව ද එම නිවේදනයේ දැක්වේ.

 

මේ පිළිබඳව බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී. බී. දිසානායක සඳහන් කළේ, රැඳවිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී වෛද්‍ය නිර්දේශයෙන් බැහැරව බන්ධනාගාර නිලධාරීන්ට කටයුතු කළ නොහැකි බව ය.

 

වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක රඳවා සිටින අවස්ථාවේදී හදිසියේ ඇති වූ සංකූලතාවක් හේතුවෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ නිර්දේශ මත ජන. 11 පෙරවරු 02.00ට පමණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සදහා යොමු කර තිබිණි.

 

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වරදරකරු වී මරණ දඬුවම හිමිව සිටින ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලින් සමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර තිබුණේ ජන. 10 වන දා ය.

 

ඊට පෙර ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලද අතර, එම ප්‍රතිකාර තවදුරටත් ලබා දිය යුතු ද යන්න තීරණය කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාලවරයාගෙන් ලිඛිතව සිදු කළ විමසීමකට අනුව, විශේෂඥ වෛද්‍යවරුන් 18 යුත් වෛද්‍ය කණ්ඩායමක් පත් කර තිබිණි.

 

එම වෛද්‍ය කණ්ඩායමේ නිර්දේශ අනුව සිරකරුට තවදුරටත් බන්ධනාගාර රෝහල තුළ හෝ වෙනත් රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා දීම අවශ්‍ය නොවන බව ත්, හදිසි සංකූලතාවක් ඇති වුවහොත් පමණක් නොපමාව ප්‍රතිකාර ලබා දෙන ලෙස ත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබිණි.

 

ඒ අනුව, ඔහු බන්ධනාගාර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර තිබිණි.

 

ගෝඨාභය දුන් සමාව ආපසු හැරවූ අධිකරණ තීන්දුව

 

2011 වසරේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන චෝදනාවට දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම විය.

 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2021 වසරේදී ජනාධිපති පොදු සමාව යටතේ දුමින්ද සිල්වා නිදහස් කළ ද ඊට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් පෙත්සමක් ගොනු කරන ලදී.

 

එම පෙත්සමේ තීන්දුවේ ප්‍රකාශයට පත් කරමින් 2024 ජනවාරි 17 වන දා දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කර නිදහස් කිරිමේදී හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන නොසලකා හැර සිය බලය අත්තනෝමතික ලෙස ක්‍රියාවේ යොදවමින් අනීතික ආකාරයෙන් කටයුතු කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

 

ඒ අනුව දුමින්ද සිල්වාට ලබා දී තිබූ ජනාධිපති පොදු සමාව බල ශුන්‍ය යැයි තීන්දු කළ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩුල්ල විසින් ඔහුට පනවා තිබෙන දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කරන ලදී.

  • BBC සිංහල

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.