උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ අංශ පවසනවා.

එම ප්‍රදේශවල ජලාශ සියල්ලෙහිම වාන් දොරටු විවෘත කර ඇති අතර ගංඟා කීපයක් ද පිටාර ගැලීමෙන් පහත් බිම් යටව පවතිනවා.

විපතට පත්වූවන් සඳහා සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති අතර හදිසි අවස්ථාවක් වෙනුවෙන් නාවික හමුදා විශේෂ කණ්ඩායම් ද ස්ථාන ගතකර තිබෙනවා.

අධික වර්ෂාවත් සමග මතුව ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දාහත් දහසක් පීඩාවට පත්ව ඇති අතර දිස්ත්‍රික් දහතුනකට ආපදා බලපෑම එල්ලවී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

ඊසානදිග මෝසම සක්‍රීයවීමත් සමග උතුර,  උතුරු මැද,  නැගෙනහිර,  ඌව,  මධ්‍යම ඇතුළු පළාත් රැසකට පසුගිය දින කීපය පුරා අධික වර්ෂාපතනයක් ලැබුණා.

ඒ හේතුවෙන් මහවැලි,  මල්වතු ඔය ඇතුළු ගංගා රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර ඇතැම් ගංගා ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ද පවතිනවා.

ප්‍රධාන වැව් 73න් 58ක්ම මේ වනවිට වාන් දමමින් පවතිනවා.

අධික වර්ෂාවත් සමග කොළඹ –  මඩකලපුව මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශය ජලයෙන් යටව පවතිනවා.

එම ප්‍රදේශයේ අඩි 4ක් පමණ ජලය රැදී තිබීම හේතුවෙන් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.

මනම්පිටිය,  වැලිකන්ද,  මඩකලපුව ප්‍රදේශ වෙත ගමන් කරන ජනතාව වෙනුවෙන් දුම්රිය ගමන්වාර වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් සියල්ලම වාන් දමමින් පවතිනවා.

පරාක්‍රම සමුද්‍රය,  මින්නේරිය,  ගිරිතලේ සහ කවුඩුල්ල ඇතුළු සියලුම ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර තත්ත්පරයට ඝන අඩි 2,800ක ජල ධාරිතාවක් මහවැලි ගඟට මුදාහැරෙනවා.

කවුඩුල්ල ජලාශයේ ද වාන් දොරටු 12 අඩිය බැගින් විවෘත කිරීමෙන් තත්ත්පරයට ඝන අඩි 3,500ක ජල ධාරිතාවක් කවුඩුලු ඔයට මුදාහැරීමත් සමග පහත් බිම් ජලයෙන් යටව පවතිනවා.

මින්නේරිය ජලාශයේ ද වාන් දොරටු සියල්ලම විවෘතව පවතිනවා.

මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඓතිහාසික සෝමාවතිය පුදබිමට පිවිසෙන සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගය ද ජලයෙන් යටව පවතිනවා.

එම මාර්ගයේ ජලය අඩි දෙකත් තුනත් අතර ප්‍රමාණයක් පැවතීම හේතුවෙන් රථවාහන ධාවනය අත්හිටුවීමට පොලීසිය පියවර ගත්තා.

සෝමාවතිය පුදබිමට පැමිණීමට බලාපොරොත්තු වන ජනතාවට විකල්ප මාර්ගයක් ලෙස වැලිකන්ද කන්දකාඩුව හරහා පුදබිම වෙත පිවිසිය හැකි බව පොලීසිය දැනුම් දෙනවා.

මල්වතු ඔය පිටාර ගැලීමත් සමග උතුරු මැද පළාතේ පහත් බිම් රැසක් ජලයෙන් යටව පවතිනවා.

මාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට ද බාධා එල්ල වුණා.

මල්වතු ඔයේ ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පැවතීම හේතුවෙන් ඉදිරියේදී තන්තිරිමලේ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් විමසිලිමත්ව සිටින ලෙස දැනුවත් කෙරෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග රාජාංගනය ජලාශයේ වාන් දොරටු 30න් 12ක් විවෘත කිරීමට ජලාශ භාර ඉංජිනේරුවරුන් කටයුතු කර තිබෙනවා.

අංගමුව ජලාශයේ ද වාන් දොරටු විවෘත කර ඇති අතර එහි ජලය කලා ඔයට මුදාහැරෙනවා.

නාච්චාදූව ජලාශයේ වාන් දොරටු හයම විවෘත කිරීමත් සමග එම ජලය මුදාහැරෙන්නේ මල්වතු ඔයටයි.

යාන් ඔය පිටාර ගැලීමෙන් කහටගස්දිගිලිය,  දෙඹටවැව මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් ගම්මාන දහයකට පිවිසෙන ජනතාවට බාධා එල්ලවී තිබෙනවා.

කුඹුරු අක්කර දහසක් පමණ ජලයෙන් යටව ඇති බවයි ජනතාව පවසන්නේ.

පදවිය ජලාශයේ ද වාන් දොරටු දෙකක් අඩි 4 බැගින් විවෘත කෙරුණා.

මඩකලපුව දිස්ත්‍රික්කයේ විශාලතම ජලාශයක් වන උන්නිවායි ජලාශයේ ද වාන් දොරටු තුනක් විවෘත කර තිබෙනවා.

ප්‍රදේශයේ පහත් බිම් බොහොමයක් ජලයෙන් යටව පවතින අතර කල්මුනේ මඩකලපුව මාර්ගය ඇතුළු ප්‍රදාන මාර්ග කීපයක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා.

මනම්පිටිය හරහා ගමන් ගන්නා කොළඹ මඩකලපුව දුම්රිය ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඌවපරණගම උඩුහාවර ප්‍රදේශයේ නිවසක බිත්ති දෙකක් කඩාවැටී තිබෙනවා.

අධික වර්ෂාවත් සමග එම නිවසේ බිත්තිවලට ජලය කාන්දුවීමත් සමග මෙම කඩාවැටීම සිදුව ඇති බවටයි වාර්තා වුණේ.

දිස්ත්‍රික් කිහිපයකට නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇගවීම් ද තවදුරටත් බලාත්මක බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා.

අධික වර්ෂාවත් සමග හටගෙන ඇති ආපද තත්ත්වයන් දිස්ත්‍රික් දහතුනකින් වාර්තා වී තිබෙනවා.

දිස්ත්‍රික් කිහිපයක ආරක්ෂිත ස්ථාන 11ක පුද්ගලයින් 434 දෙනෙකු තාවකාලිකව රදවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

ITN news

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.