පිරිමින් අතින් කාන්තා හිංසනය සිදුවීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු වන සජීව් රාජපුත්‍ර සහ ඔහුගේ බිරිඳ මුතූ රාජපුත්‍ර පොඩ්කාස්ට් වැඩසටහනක දී කළ අදහස් දැක්වීමක් පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය තුළ දැඩි විවාදයකට තුඩු දී තිබුණි.

එම පොඩ්කාස්ට් වැඩසටහනේ සංස්කරණය කළ මිනිත්තුවක පමණ වීඩියෝ කොටසක් සජීව් රාජපුත්‍ර සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ අතර දැඩි විවාදයකට මුල් වූ එම වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍යයෙන් ඉවත් කර ගෙන ඇත.

මුතූ රාජපුත්‍ර සිදු කළ ප්‍රකාශයේ උපුටා ගැනීම මෙසේය, "අද ඔෆිස් ගිහිල්ලා එන ගෑනු කෙනෙකුගෙන් බස් එකේ යන ඩිංගටවත් යන්න බෑ කියන කරණාවල්, එමට දේවල් තියෙනවානේ අපේ සමාජයෙන් එහා ගිය. එතකොට ඒක ඇතුළේ මම කතා කළොත්, කිව්වොත්, කොයි වෙලාවකවත්, පිරිමියෙක් මොන උවමනාව තිබ්බත් ගෑනියෙක්ගේ එක බැල්මක්, ඇඳුමකින් හරි සිග්නල් එකක් නැත්නම්, කිසි ම පිරිමියෙක්... රේප් කිරීම වෙන දෙයක්. බලෙන් ගෙන යාමක්නේ එතකොට. ඒක නැතුව කිසිම පිරිමියෙකුගෙන් ගෑනියෙකුට කරදරයක් වෙන්නේ නෑ.

එහෙම නැතුව බලහත්කාරයෙන් කිරීම කියන දේ ඉතින් අපිට තර්ක කරන්න බෑ. ඊට අමතරව අපි දෙන සිග්නල්වලින්මයි අපි එතනට වැටෙන්නේ.

හැබැයි අපේ ගෑනු, ඒ හැකියාව තියෙනවා කියන එකෙන් ආත්මතෘප්තියක් කර ගන්නවා. ඒක නොකරන ගෑනිට කවුරුත් අටෙන්ෂන් නෑ, එහෙම කෙනෙක් නිසා නෙමේ, එයාට එක ඕන නැති හින්දා. ඒක ඕනේ නැති නිසා එයා තැන්පත් විදිහට ජීවත් වෙන්නේ.

හෙට උදේ එයාට පුළුවන් ස්කිනි එකක් ගහගෙන හරි මොනවා හරි කරගෙන අවුස්සගන්න. ඕනෑ ම ගෑනියෙකුට ඒක පුළුවන් කරන්න. හැබැයි නොකරන්නේ තමන්ට අවශ්‍ය නැති නිසා. දැන් මේ අනිත් හැම ගෑනි ම ඒක ඇඳගෙන ගිහිල්ලා කවුරු හරි එහෙන් මෙහෙන් බැලුවා ම ඒකෙන් ගන්න ආත්මතෘප්තියට එයා පොර කියලා හිතන්නේ. රෑ ඉවෙන්ට්ස් හැම තැනක ම මම දකින දෙයක් තමයි මේ අඳින්න කියන දේ, තමන්ගේ මහත්තයට ඒක ලකුණක් නෙමෙයි."

කෙසේ වෙතත් අද(20) සජීව් රාජපුත්‍ර සිය ෆේස්බුක් ගිණුමෙහි මේ සම්බන්ධයෙන් මෙවැනි සටහනක් පළ කර තිබේ.

v5767.JPG

"පසුගිය දින තුල සමාජ මාද්‍ය ජාලා තුල විශාල කතිකාවතක් ඇති කරමින් යන මා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යව ඇති පසුබිමක මේ සටහන ඔබ වෙනුවෙන් ලිවීමට තීරණය කලෙමි.

ප්‍රථමයෙන්ම මා ඔබට දැනුම් දෙන්න කැමතී කිසිදු ලෙසකින් මා කාන්තාවන් අපහසුතාවට පත්කරන ප්‍රකාශයක් සිදු කිරීමට බලාපොරොත්තු නොවූ බව සහ මා ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වූ අදහස සහ එම වීඩියෝ පටය තුලින් ගම්‍ය වී ඇති අදහස සම්පූර්ණයෙන්ම වෙනස් අන්ත දෙකක් බව. ඒ තුලින් සාමාන්‍ය ජන ජීවිතයේ ඉතා අසීරු ජීවන අරගලයක නිරතව සිටින එකඳු කාන්තාවක් හෝ අපහසුතාවට පත්වූවානම් ඒ වෙනුවෙන් මා අවංකවම මාගේ කණගාටුව පල කරනවා.

එම වැඩසටහන පටිගත කල දවසේදි විව්ධ මාතෘකා කීපයක් සම්බන්ධව අපි අපේ අදහස් හුවමාරු කරගනිමින් සිටියා. එහිදී අපි අතර වුන කතාබහට මාතෘකා වුනේ අසහනකාරී පිරිමින් හෝ දූෂකයන් නෙවේ. එවැනි අසහනකාරී හැඟීම් ඇති පිරිමින් ආරක්ෂා කිරීම හෝ සාධාරණීකරණය සඳහා එකදු වචනයක් හෝ වැයකිරීම මා කිසිම හේතුවක් මත කවමදාවත් කරන්න හිතන්නෙවත් නැති දෙයක්. එහිදී මාතෘකා වුනේ එවැනි බලහත්කාරී තත්වයන් නොවන, නමුත් ගැටලු ඇතිකරවන කිසිඳු සාදාරන හේතුවක් නොමැති සම්බන්ධතා ගොඩනගාගැනීම් ගැන. ඒ අවස්ථාවේදී මා කරගෙන යන ව්‍යාපාර තුල හෝ ජීවත් වන සමාජය තුලින් මා ලබා ඇති අත්දැකීම් අනුව මෙවැනි සම්බන්ධතාවලට එකඟත්වය පල කරන කාන්තා හැසිරීම් පිළිබඳ ඒ ප්‍රකාශය මා සිදු කලා.  මෙම වීඩියෝ පටය සංස්කරනය කිරීමේදී කෙසේ හෝ මේ සියලු අදහස් එකම පෙලකට සංස්කරනය කර තිබෙනවා සහ එම සංස්කරණය කල වීඩියෝව අවසානයේ අප විසින් අනුමත කිරීමක් නොකර පල කිරීමට ඉඩ සලසා දීමෙන් ඉතාම කණගාටුදායක පණිවිඩයක් සමාජගත වී තිබෙනවා.

මගේ පියා ඉතා ප්‍රකට ව්‍යාපාරිකයෙක් වුවත් කිසිදිනෙක මගේ දෙමාපියන් අපිව දුක නොහඳුනන වටිනාකම් නොහඳුනන පුද්ගලයන් ලෙස ඇති දැඩි කලේ නෑ. ඒ වගේම අපේ පවුල් පසුබිම එක රැයින් මුදල් ඉපයූ පසුබිමක් ද නෙවේ. අපේ දෙමාපියන් ජීවිතේ ගොඩනැගු හැටි අපි සියැසින් දැක තිබෙනවා. අපි ඉතා හොඳින් මිනිස් ජීවිතයේ අරගල හඳුනනවා.  දියණියන් දෙදෙනෙක් සිටින මවක් හැටියට සහ කාන්තාවක් හැටියට මට ඉතාමත් කණගාටුයි මම කිසිසේත් කරන්න බලාපොරොත්තු නොවුන විදියෙ ප්‍රකාශයක් ජනගත වීම පිලිබඳව.

මා පෞද්ගලිකව ඕනෑම මිතුරියකට , කාන්තාවකට, දියණියකට ඕනෑම ආකාරයේ සහයක් අවශ්‍ය ඕනෑම මොහොතක ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින අයෙක් බව මා දන්නා හඳුනන බොහෝ දෙනෙක් දන්න කරුණක්. අදත් හෙටත්  ඔබට මාගෙන්  කාන්තාවක් ලෙස වචනයකින් හෝ සහයක් , සහනයක් අවශ්‍ය ඕනෑම මොහොතක ඔබට මා සම්බන්ධ කරගන්න පුලුවන්!

අවසන් වශයෙන්, එක වීඩියෝ පටයකින් එක අතපසුවීමකින් මා ගැන නිගමනයකට නොඑන ලෙස මා ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා."

-Muthu Rajaputhra

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.