2020 වසරේ හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන විමර්ශනය කිරීම සඳහා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරනු ලැබූ රැඳවුම් නියෝගය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අඟහරුවාදා (මාර්තු 18) තීන්දු කළේ ය.

මෙම නඩුවේ පෞද්ගලික වග උත්තරකරුවකු ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කර නොතිබූ බැවින් ඔහුගෙන් වන්දි අය කර ගැනීමට හැකියාවක් නොමැති බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, මේ තුළින් සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් රජය විසින් රුපියල් ලක්ෂයක වන්දියක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවත් නියම කළේ ය.

එම සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද හේනගම, පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි කාංචනා ප්‍රියදර්ශනී මදුරප්පෙරුම නමැති කාන්තාවක විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ය.

මහින්ද සමයවර්ධන, ඒ.එච්.එම්.ඩී. නවාස් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මෙම තීන්දුව ලබා දුන්නේ ය.

පෙත්සම්කාරියගේ තර්ක

පෙත්සම්කාරිය කියා සිටියේ, හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් 2020 වසරේ ජනවාරි මස 30 වන දා බණ්ඩාරගම ප්‍රදේශයේදී තමා සහ තම සොහොයුරා අත්අඩංගුවට ගත් බව ය.

ඉන් අනතුරුව විෂ වර්ග හා අන්තරායකර ඖෂධ පනතේ 82(3) වගන්තිය යටතේ තමන්ව පොලිසිය දින හතක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කළ බවත් පෙත්සම්කාරිය සඳහන් කළා ය.

ඉන් පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ රැඳවුම් නියෝගයක් මත තමන්ව රඳවාගෙන ප්‍රශ්න කළ බවත් පෙත්සම්කාරිය පැවසුවා ය.

පෙත්සම්කාරිය සිය පෙත්සම තුළින් සඳහන් කර තිබුණේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව රැඳවුම් නියෝගයක් නිකුත් කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු නොකළ බව ය.

ඒ අනුව, ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ මෙම රැඳවුම් නියෝගය නීතියට පටහැනි බවත් පෙත්සම්කාරිය සිය පෙත්සම මගින් තර්ක කර තිබිණි.

තීන්දුව දෙමින් විනිසුරු කළ පැහැදිලි කිරීම

මීට අදාළව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු තුරෙයිරාජා සඳහන් කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9 (1) වගන්තිය ප්‍රකාරව පුද්ගලයෙකු රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය ආරක්ෂක අමාත්‍යවරයාට පමණක් ලබා දී තිබෙන බව ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය යටතේ ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කරන බව දක්වා තිබුණ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ එවැනි ප්‍රතිපාදනයක් අන්තර්ගත නොවූ බවත් විනිසුරුවරයා සිය තීන්දුව දෙමින් කියා සිටියේ ය.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය බලාත්මක වූයේ, 2020 වසරේ ඔක්තෝබර් මස 29 වන දා බවත් මෙම නඩුකරයට පාදක වන රැඳවුම් නියෝගය නිකුත් කළ අවස්ථවේ මෙරට ක්‍රියාත්මක වූයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය බවත් විනිසුරුවරයා පෙන්වා දී තිබේ.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කරන බවට ප්‍රතිපාදනයක් අන්තර්ගත නොතිබූ හෙයින් පෙත්සම්කාරිය රඳවා ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරන ලද රැඳවුම් නියෝගය නීතියට පටහැනි බවත් විනිසුරුවරයා සිය තීන්දුව දෙමින් සඳහන් කළේ ය.

ඒ අනුව, ජනාධිපතිවරයා වශයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවුම් නියෝගයක් නිකුත් කිරීමට ගෝඨාභය රාජපක්ෂට බලයක් නොතිබූ බවත්, ඒ තුළින් ඔහු සිය බලය අත්තනෝමතික ආකාරයෙන් පරිහරණය කර තිබෙන බවත් තීන්දුවේ සඳහන් විය.

මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1), 13 (1) සහ 13 (2) ව්‍යවස්ථාවන්හි සඳහන් පෙත්සම්කාරියගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවත් විනිසුරුවරයා සිය තීන්දුව දෙමින් වැඩිදුරටත් සඳහන් කළේ ය.

BBC සිංහල 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.