2025 අයවැය මඟින් කප්පාදු කළ වැටුප්, අතිකාල දීමනා සහ අනෙකුත් දීමනා යළි ලබාදෙන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් හෙට (25) දිනයේදී යළි සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරන්නේ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය මෙතෙක් සාකච්ඡාවක් හෝ ලබාදීමට කටයුතු කර නොමැති බැවින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට සිදුව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දබරේරා සඳහන් කළේ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාගැනීමට උත්සාහ කළ ද මෙතෙක් එවැනි සාකච්ඡාවක් ලබාදීමට රජය කටයුතු කර නොමැති බවයි.
ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.
“අපි කිසිසේත්ම වැටුප් වැඩිවීමක් නෙමෙයි ඉල්ලන්නේ. අප ලබමින් සිටි, 2025 අයවැයෙන් කප්පාදු කළ වැටුප් හා දීමනා සහ අතිකාල දීමනා නැවත වතාවක් ලබා දෙන්න කියලා. ඒ වර්ජනයේ නිරත වූ හෝ ක්‍රියාමාර්ගවල සිටි කිසිම වෘත්තීය කණ්ඩායමකට මේ රජය සාකච්ඡාවක් ලබාදීලා නෑ.”
මේ අතර, ගුරු ක්ෂේත්රයට අදාළ වෘත්තීය සමිති කිහිපයක් ද නොවැම්බර් 30 වැනිදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට සූදානම් වන බව වාර්තා වේ.