CLOSE

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'CCC+/C' මට්ටමේ සිට 'B-/B' මට්ටම දක්වා ඉහළ නංවා තිබේ.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ දිගුකාලීන ණය ශ්‍රේණිගත කිරීම් සඳහා ස්ථාවර ඉදිරි දැක්මක් (Stable Outlook) ලබාදීමට ද එම ආයතනය පියවර ගෙන ඇත.

මෙම තීරණයට බලපා ඇති ප්‍රධාන සාධක අතර මෙරට රාජ්‍ය ආදායම අඛණ්ඩව වර්ධනය වීම සහ ජාත්‍යන්තර ආර්ථික පරිසරයේ පවතින අභියෝග හමුවේ වුවද විදේශ විනිමය සංචිත ඉහළ මට්ටමක පවත්වා ගැනීමට හැකිවීම කැපී පෙනේ.

S&P Global Ratings පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කිරීමත් සමඟ රාජ්‍ය මූල්‍ය තත්ත්වය සහ විදේශීය සංචිත තවදුරටත් ශක්තිමත් වෙමින් පවතින බවයි. ඒ හේතුවෙන් රජයට ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් පවතින අවදානම් ද සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව එම ආයතනයේ තක්සේරුව වී තිබේ.

එම ආයතනය නිකුත් කළ නවතම වාර්තාවට අනුව, දිගුකාලීන විදේශීය සහ දේශීය මුදල් ණය ශ්‍රේණිගත කිරීම් සඳහා ස්ථාවර ඉදිරි දැක්මක් පවත්වාගෙන යන අතර, කෙටි කාලීන විදේශීය සහ දේශීය මුදල් ණය ශ්‍රේණිගත කිරීම් ද 'C' මට්ටමේ සිට 'B' මට්ටම දක්වා ඉහළ නංවා තිබේ.

කෙසේ වෙතත්, අරමුදල් හුවමාරු කිරීමේ සහ මුදල් පරිවර්තනය කිරීමේ හැකියාව පිළිබඳ ශ්‍රී ලංකාවේ තක්සේරුව 'B-' මට්ටමේ නොවෙනස්ව පවතින බව ද වාර්තාවේ සඳහන් වේ.

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ දිගුකාලීන බාධාකාරී තත්ත්වයන් පැවතියද, ඉදිරි මාස හයේ සිට 12 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය යම් ඔරොත්තු දීමේ හැකියාවක් පවත්වාගනු ඇතැයි S&P Global Ratings අපේක්ෂා කරයි.

එමෙන්ම, සාර්ව ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම තුළින් රාජ්‍ය මූල්‍ය තත්ත්වය සහ විදේශීය මූල්‍ය ආරක්ෂණ හැකියාව තවදුරටත් වර්ධනය වනු ඇතැයි ද එම ආයතනය පුරෝකථනය කර තිබේ.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.