CLOSE

ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ඉහළ යාමක් මේ දිනවල වාර්තා වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම පැවසුවේ, ජනතාව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගත යුතු නමුත් ගර්භනී මාතාවන්, කුඩා ළමුන් ඒ වගේම වැඩිහිටි අය, දියවැඩියාව, හෘදරෝග, වකුගඩු රෝග වැනි බෝ නොවන රෝග පවතින පිරිස් සැලකිලිමත් වියයුතු බවයි.  

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මෙම අදහස් පළ කළේය.

“මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් අපේ ආවේක්ෂණ පද්ධතිය හරහා අපිට නිරීක්ෂණය වෙනවා පසුගිය සති තුන 4 තුළ. පසුගිය සතිය වනවිට ඒ ගන්න සාම්පලවලින් අපිට පේනවා, 35%ක් විතර ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් කියලා. ඒ කියන්නේ මේ දවස්වල පැතිරිලා යන කැස්ස, හෙම්බිරිසාව, උණ වගේ රෝගවල බොහෝවිට අපි ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් අපි දකිනවා.

හැබැයි මේ රෝගි තත්ත්වය දවස් තුන හතරකින් බොහෝ වෙලාවට ප්‍රතිකාර සමඟ විශාල ගැටලුවක් නැතිව සුව වෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නෑ. හැබැයි ඒ වගේම ගර්භනී මාතාවන්, කුඩා ළමුන් ඒ වගේම වැඩිහිටි අය, දියවැඩියාව, හෘදරෝග, වකුගඩු රෝග වැනි බෝ නොවන රෝග පවතින අයට ඉන්ෆ්ලුවෙන්සා ආවොත් සමහර විට සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන සැලකිලිමත් වෙන්න.”

“මේ රෝගය බෝවෙන්නේ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ආශ්‍රිතව පිටවෙන බිඳිති මාර්ගයෙන්. ඒ වගේම ස්පර්ශයෙනුත් මේ රෝගය බෝවිය හැකියි. ඒ නිසා අපි හැමවෙලාවේම සඳහන් කරන්නේ, මේ රෝගය වළක්වා ගැනීම සඳහා කටයුතු කරන්නේ කොහොමද කියලා. මේ රෝගය හැදුනම දවස් දෙක තුනක් ගෙදර ඉඳලා විවේක ගැනීම වැදගත්. ඒ වගේම නිතර සබන් දාලා අත්සේදීම හා රෝගය වැලඳුන කෙනෙක් නම් මුඛ ආවරණ පැලඳීම තුළින් රෝගය බෝවිම වළක්වා ගැනීමට හැකියාව තියෙනවා.”

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.