CLOSE

ඉන්දියාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව යන රටවල මහකොමසාරිස්වරුන් සහ කියුබා, ජපාන හා චීන තානාපතිවරුන් අද (02) ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්විය.

සියලු රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීමේ වත්මන් රජයේ ප්‍රතිපත්තිය අනුව ජනාධිපතිවරයා මෙලෙස විදෙස් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

ඒ අනුව, ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ජනාධිපතිවරයා හමුවූයේ අද පස්වරුවේදී යි. ඉන්දීය මහකොමසාරිස්වරයා අනුර කුමාර දිසානායක ජනපති තනතුරට පත්වීමෙන් අනතුරුව මුණගැසුණු දෙවැනි අවස්ථාව මෙය වේ.

ඉන්දු-ශ්‍රී ලංකා හවුල්කාරීත්වයේ ඉහළට ගමන් කිරීමේ ප්‍රගතිය පිළිබඳවත් දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ ක්‍රම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කළ බව ඉන්දීය මහකොමසාරිස්වරයා නිකුත් කළ එක්ස් පණිවිඩයක් දැක්වුණි.

දූෂණයට එරෙහිව ඵලදායී ලෙස සටන් කිරීම සඳහා රාජ්‍ය පද්ධතිවල ඩිජිටල්කරණයේ වැදගත්කම මෙහිදී පෙන්වාදී ඇති ඉන්දීය මහකොමසාරිස්වරයා ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා තිබූ දූෂණ විරෝධී වැඩ පිළිවෙළද අගය කර තිබේ. ඩිජිටල්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව කැමැත්තෙන් පසුවන බවද සන්තෝෂ් ජා දැනුම්දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය.

මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොංග් ද අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවිය.

ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු සඳහා චීනය අඛණ්ඩව සහය දක්වන බව ජනාධිපතිවරයාට සුබ පතමින් චීන තානාපතිවරයා දැනුම් දී තිබුණේ ය.

ද්වීපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් චීන රජය අඛණ්ඩව කැපවී සිටින බවද තානාපතිවරයා ප්‍රකාශකර තිබේ. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියටද පූර්ණ සහය ලබාදෙන බවට ද චීන තානාපතිවරයා මෙහිදී ජනාධිපතිවරයාට සහතික වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය.

මේ අතර, දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩ පිළිවෙලට ජපාන රජයේ පූර්ණ සහය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයාකි අද ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ ප්‍රකාශ කළේ ය.

දෙරටම අන්‍යෝන්‍යය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

ඉදිරියේදී මිත්‍ර රාජ්‍යයන් ලෙස ඉතා සමීපව කටයුතු කිරීමට මෙහිදී එකගතාව පළකළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය.

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ද අද ජනාධිපතිවරයා හමු වුණි.

දෙරට අතර පවතින දීර්ඝ කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු වී තිබේ.

ශ්‍රී ලංකාව සමඟ පවතින සහයෝගීතාව වැඩි දියුණු කිරීමට කියුබාව සූදානමින් සිටින බව ජනාධිපතිවරයාගේ නායකත්වය පිළිබඳව ප්‍රශංසා කර ඇති මෙරට කියුබානු තානාපතිවරයා පවසා ඇත.

ඩෙංගු මර්දනය සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට කියුබානු රජය අඛණ්ඩව සහාය ලබා දෙන බවද ඔහු මෙහිදී සහතික වී තිබේ.

මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් අතරද අද හමුවක් සිදුවුණි.

සමුද්‍රීය ආරක්ෂාව, දේශසීමා පාලනය සහ ත්‍රස්ත විරෝධී ප්‍රයත්නයන් ඇතුළු ප්‍රමුඛ ක්ෂේත්‍ර සඳහා ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියානු රජයේ අඛණ්ඩ සහාය ලබාදෙන බවට මහකොමසාරිස්වරයා මෙම හමුවේදී සහතිකවී තිබේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් ද ජනාධිපති අනුර කුමාර දිසානායක හමු විය.

නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක ගේ ඉදිරි පාලනය වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජයේ සුබ පැතුම් එක් කළ මහකොමසාරිස්වරයා තුන්වන චාල්ස් රජුගේ සහ බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර්  ගේ පුද්ගලික සුබ පැතුම් ද ජනාධිපතිවරයාට පිළිගන්වා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා බ්‍රිතාන්‍ය රජයේ සහයෝගය ලබා දෙන බව ඔහු ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණේ ය.

මේ අතර ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වෝල්ෂ් ද අද ජනාධිපතිවරයා හමුවී සුබ පැතුම් පිරිනැමුවේ ය.

දිගු කාලීන ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සදහා තවදුරටත් එක්ව කටයුතු කිරීමට සූදානම් බව මහකොමසාරිස්වරයා මෙම හමුවේ දී ජනාධිපතිවරයා දැනුම්දී තිබේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.