CLOSE

සටන ඇත්තේ ජනාධිපතිවරයා කවුද යන්න පිළිබඳ නොව අප ජීවත් වන්නේ කෙසේද යන්න පිළිබඳව බවත් ජනතාව ඒ තීරණය ගත යුතුව ඇති බවත් ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.

නිතීඥ වෘත්තියවේදීන්ගේ හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.

"එක පක්ෂයකින් නෙවෙයි සියලුදෙනා එක්ව රට ගැන සිතා වැඩ කළා. පාර්ලිමේන්තු කණ්ඩයම ඊට උදව් කළා. දැන් අප යම්කිසි ස්ථාවරත්වයකට පැමිණ තිබෙනවා. මූලික වශයෙන් රටවල් 18ක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ආයතන සමඟ ගිවිසුමකට එළැඹී තිබෙනවා.

අප මුලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර එකඟතාවයට ආවා. දෙවනුව අපට චීනය සහ අනෙකුත් රටවල් සමඟ සාකච්ඡා කිරීමට තිබුණා. චීනය බලාගෙන හිටියා අපි අනෙක් රටවලට විශේෂයක් කරනවද කියලා. අනෙක් රටවලුත් අපි චීනයට යම් විශේෂයක් කරනවද කියලා බලාගෙන හිටියා. මේ සියල්ල අවසන් කර අප දැන් එකඟතාවකට පැමිණ තිබෙනවා. ඒ සමඟම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සියලුදෙනා

වෙනුවෙන් ක්‍රියා කිරීමට ඇති බලය අවසන් වී තිබෙනවා. අපි රටවල් 18ක් සහ සංවිධාන 3 සමඟ ගිවිසුම අත්සන් කර තිබෙනවා. එනිසා මේ අනුව අපට ඉදිරි වැඩකටයුතු සිදු කිරීමට තිබෙනවා. ලබන වසරට රුපියල් ට්‍රිලියන 5ක ආදායමක් උපයාගෙන වැඩ කටයුතු කිරීමට අපට සිදු වෙනවා.

තමන්ගේ මැතිවරණ ප්‍රකාශවලින් අරක නොමිලේ දෙනවා, මේක නොමිලේ දෙනවා, බදු අඩු කරනවා කියා පැවසු විට මේ ගිවිසුම කැඩෙනවා. එසේනම් ඒ සඳහා වෙනත් ආකාරයකින් මුදල් සෙවිය යුතුයි. වැට් බද්ද අඩු කරනවා නම් ආදායම් බද්ද වැඩි කිරීමට සිදුවෙනවා. රුපියල් ට්‍රිලියන 5 කියන අගය වෙනස් කරන්න බැහැ. නමුත් මුදල් සොයාගන්නා ආකාරය වෙනස් කළ හැකියි. එහෙත් මේ ඉලක්කය අනුව කටයුතු කළ යුතුයි. ඉලක්කය සපුරාලන්නේ නැත්නම් සිදුවන්නේ කුමක්ද?

ඔවුන් නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන බව පවසනවා.නමුත් ජාත්‍යන්තර අරමුදලට දැන් මේ පිළිබඳ බලයක් නොමැති බැවින් ඔවුන් සමඟ කතා කිරීමෙන් ප්‍රතිඵලයක් නැහැ. එනිසා මේ රටවල් 18 සහ ආයතන 3 සමඟ වෙන වෙනම ගොස් සාකච්ඡා කිරීමට සිදුවෙනවා. එය ලේසි පහසු කටයුත්තක් නොවෙයි. බහුතරයක් රටවලට අපේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට වඩා ඔවුන්ට ඔවුන්ගේම ප්‍රශ්න විසඳාගැනීමට තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, මාස 6කට වරක් සමාලෝචනයකට යටත්ව අපට ආධාර ලබාදෙනවා. ජපානය සහ අනෙකුත් ආයතන හා රටවල්වලින් අත්හිටවනු ලැබු ආධාර නැවත ලැබීම ආරම්භ වීමට තිබෙනවා. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනය අවසන් කර තිබෙනවා. එහි මුදල් එළැඹෙන පෙබරවාරි මාසයේ ලැබීමට නියමිතව තිබෙනවා. ඊට පෙර මෙම සමාලෝචනය සිදු කර මුදල් ලබාගැනීමට අනුමැතිය ලබාගත යුතුයි. අපි මේ ගිවිසුම සංශෝධනය කරන බව පැවසුවහොත්, නැවත එකඟතාවකට පැමිණෙන තුරු මේ ලැබීමට නියමිත ආධාර සියල්ලක්ම නැවතෙනවා. එවිට පෙබරවාරි මාසයේ සිට නැවතත් ඔබට පොලිම් වල කාලය ගත කිරීමට සිදු වෙනවා.

සාමාන්‍ය සමාලෝචනයක් සඳහා මාස 2ක් පමණ ගතවෙනවා. සංශෝධනයක් සඳහා සාකච්ඡා කළ හොත් අවම මාස 4ක් 5ක් ගතවිය හැකියි. රටවල් සමඟත් නැවත සාකච්ඡා කිරීමට සිදුවන නිසා සමස්ත ක්‍රියාවලිය සඳහා අවම වශයෙන් මාස 8ක් පමණ ගත වෙනවා. ඒ ආකාරයෙන් රට  ඉදිරියට ගෙන යා හැකි ද? සටන තිබෙන්නේ ජනාධිපතිවරයා කවුද යන්න පිළිබඳ නොවෙයි. අප ජීවත් වන්නේ කෙසේද යන්න පිළිබඳවයි. ඒ තීරණය ගත යුතුව තිබෙනවා.

ආපසු බොරු කළොත් රට වැටෙනවා.  මේ මොහොතේ ආර්ථික ස්ථාවරභාවය අවශ්‍යම වෙනවා. මම අපෙක්ෂා කරන්නෙ මේ වැඩකටයුතු ඉදිරියට ගෙනයාමටයි. විදේශ ආයෝජන ගෙන ආ යුතුයි. ඒ සඳහා අප සියලුදෙනාම එකට එක්ව ගෑස් සිලින්ඩරය වෙනුවෙන් ඡන්දය භාවිතා කළ යුතුයි. මේ ජන්දය දෙන්නේ ගෑස් සිලින්ඩර් සොයමින් ගිය යුගයෙන් ඉවත් වීම සඳහායි.

අප සමඟ සිටින ආර්ථික කණ්ඩායම තරම් සුදුසු කණ්ඩායමක් වෙනත් කිසිඳු පක්ෂයක නැහැ. ඔවුන්ගේ කණ්ඩායම්වල සිටින්නේ කවුද කියා මම දන්නේ නැහැ. නමුත් අපගේ කණ්ඩායම ලෝකය විසින් පිළිගෙන තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රජාවේ බොහෝ දෙනෙකු මගෙන් ඒ පිළිබඳ විමසනවා. අපටත් ඔබේ උපදෙස් ලබා දෙන ලෙස අපගෙන් ඉල්ලා සිටිනවා. පකිස්ථානයේ හිටපු අගමැතිතුමා ද මේ පිළිබඳ විමසා සිටියා. මේ කණ්ඩායම අභිබවා යා හැකි වෙනත් කිසිවෙකු අනෙක් පක්ෂවල නැහැ. සමහරු මම දේශපාලනයට ගෙන ආ පුද්ගලයින් නිසා ඒ පිළිබඳ මම හොඳින්ම දන්නවා. එනිසා තමන්ගේ අනාගතය මේ අයට භාර දීමට කැමතිද කියා සිතා බලා ජනතාව තීරණයක් ගත යුතුව තිබෙනවා.

 

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.