CLOSE

බංග්ලාදේශ් අගමැතිනිය වන ශීක් හසීනා තම ධූරයෙන් ඉවත්ව ඩකා අගනුවරින් පලාගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. විරෝධතාකරුවන් අගමැති මඳිරයට කඩා වැදෙන අවස්ථාවේ ඇය පලාගිය බව ඇතැම් වාර්තා දක්වන අතර ඇය ධූරයෙන් ඉවත් වූයේ හමුදාවෙන් ලබාදුන් අවසන් ඉල්ලීමක් අනුව බව තවත් මාධ්‍ය වාර්තා කර තිබුනි.

බංග්ලාදේශය බිහිවුනේ 1971 ඉන්දියා-පකිස්ථාන් යුද්ධයෙනි. 

 

ඉන් පසුව එහි ප්‍රථම අගමැති වූයේ ශීක් හසීනාගේ පියා වූ ශීක් මුජිබර් රහමාන් වේ. බංග්ලාදේශ් නිදහස් සටනේ පුරෝගාමියා වූ ශීක් මුජිබර් බලයට පත්වූ පසු ආඥාදායකයෙක් වීමට ගත වූයේ වසර තුනක් පමනකි. විපක්ශ මෙන්ම ප්‍රතිවිරුද්ධ මත මර්ධනය කල ඔහු 1975 ජනවාරියේදී තමන් ප්‍රධානත්වය දරන අවාමි ලීග් පක්ශය හැර සෙසු පක්ශ තහනම් කරමින් තනි පක්ශ ආඥාදායකත්වයක් බවට පත් කරන ලදී. එහෙත් ඔහු 1975 අගෝස්තු මස 15 දින හමුදා කුමන්ත්‍රනයකින් පවුලේ සාමාජිකයන් බහුතරයක් සමඟින් ඝාතනය කෙරුනි. මෙහිදී දිවි ගලවා ගත්තේ එවකට විධේශගතව සිටි ශීක් හසීනා සහ ඇයගේ නැගනිය පමනි.

 

ශීක් හසීනා දේශපාලනයට එන්නේ 1980 දශකයේදීය​. ඒ අවාමි ලීග් පක්ශයේ නායිකාව වශයෙනි. ඉන් පසුව ඇය 1996-2001 දක්වාත් නැවතත් 2009 සිට 2024-08-05 දින දක්වාත් අගමැති කම හෙබවීය​. ඇය 2009 අගමැති වීමෙන් පසු විරුද්ධ පක්ශ මෙන්ම විරුද්ධ මතධීරීන් මර්ධනය කිරීමට මෙන්ම අතිශය ඒකාධිපති සහ සහචරවාදී පාලනයක් ගෙන ගිය බවට චෝදනා එල්ල වූ අතර ඇගේ පාලන සමයේදී බංග්ලාදේශ් ආර්ථිකය දියුනු වුවත් එහි ප්‍රථිඵල ඇයගේ සහචරයන් සහ හිතවතුන් අතට මිස රටට පොදුවේ බෙදී නොගිය බවට සහ ඇයත්, ඇයගේ පව්ලේ සාමාජිකයන්,පක්ශයේ අය සහ හිතවතුන් මහා පරිමානයේ දූශන ක්‍රියා සඳහා දායක වූ බවටත් චෝදනා එල්ල විය​.

 

නමුත්,ඇය අද දිනයේ බලයෙන් ඉවත්වීමට පාදක වූයේ තරුන විරෝධතාවයකි. බංග්ලාදේශ් නිදහස් සටනේ කොටස්කරුවන් වූවන් ගේ පවුල් වලට රජයේ රැකියා අවස්ථාවන් වලින් 30% ලබාදීමට එරෙහිව පැන නැගුනු ශිශ්‍ය සහ තරුන විරෝධතාවය ඉතා කුරිරු ලෙස මර්ධනයත්, ඒවායේ නිරත වන්නන් ජාති ද්‍රෝහීන් සහ රට පාවා දෙන්නන් යන ඇයගේ හුරුපුරුදු පරිභවයනුත් මෙවර සිදු කලේ විරෝධතාව්‍ය තව තවත් වැඩි කිරීමකි. අන්තර්ජාලය අත් හිටුවීම​, සමාජ මාධ්‍ය අවහිර කිරීම​, ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීම සහ නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීම තුලින් මෙම විරෝධය මර්ධනය කිරීමට ඇය අපොහොසත් වූවා පමනක් නොව​, එය විරෝධතාවයේ අවරූපය වෙනස් කිරීමට​, එනම් ශීක් හසීනාගේ ඉලා අස්විම​; ඉල්ලා සිටින විරෝධයක් දක්වා වර්ධනය කිරීමට හේතු විය​.

 

මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ තම පියාට මීට 49 වසරකට පෙර සිදු වූවාක් මෙන්ම ආගෝස්තු මාසයකදීම දැනට 76 වන වියේ පසුවන ශීක් හසීනාටද බංග්ලාදේශ් අගමැති ධූරය අහිමි වීම වන අතර ඒ අනුව බලන කල ඇය තම පියාට වඩා වාසනාවන්ත බව පෙනේ. ඒ මෙම විරෝධතාවන් මර්ධනයේදී ජීවිත සිය ගනනක් අහිමි වුවත්,ඇයත් පවුලේ සැමගේත් ජීවිත ආරක්ශා වී තිබීමයි.

 

සටහන උපුටා ගැනීම : ජගත් ගුණවර්ධන මුහුණුපොතේ ගිණුමෙනි 

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.