CLOSE

ජාතික ආරක්ෂාව: පුරවැසියන්ගේ ‘දුරකතන ඇමතුම් ටැප්’ කිරීමට පකිස්ථාන බුද්ධි අංශයට අවසර ජාතික ආරක්ෂාව වෙනුවෙන් පුරවැසියන්ගේ දුරකතන ඇමතුම් සහ කෙටි පණිවිඩ 'ග්‍රහණය කිරීමට' පකිස්ථානයේ ෆෙඩරල් රජය අන්තර්-සේවා බුද්ධි අංශයට (ISI) අවසර දී තිබේ.

මේ සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන දේශපාලන නායකයින් පමණක් නොව සමාජ ක්‍රියාකාරීන් ද කනස්සල්ල පළ කරන අතර, ඔවුන්ගේ අදහස වන්නේ, මෙම ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට පටහැනි බව ය.

 

ජුලි 8 වන දින නිකුත් කරන ලද දැනුම්දීමකට අනුව, ජාතික ආරක්ෂාව සහ අපරාධවලට ඇති බිය පදනම් කරගෙන, 1996 පකිස්ථාන විදුලි සංදේශ පනතේ 54 වන වගන්තිය යටතේ ෆෙඩරල් රජය ISI නිලධාරීන්ට මෙම බලය ලබා දී ඇත.

 

මේ යටතේ ඕනෑම පුද්ගලයෙකුගේ දුරකථන සංවාදයකට සවන්දීමට සහ ඒවා පටිගත කරීමට බුද්ධි අංශවලට නීතිමය රැකවරණයක් ලැබෙනු ඇත. ඒ අනුව මෙය අභියෝගයට ලක්කරමින් ලාහෝර් මහාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇති අතර එය විභාගයට ගන්නේ ද නැද්ද යන්න අද දිනයේ තීරණය කිරීමට නියමිතය.

 

1996 විදුලි සංදේශ පනතේ 54/1 වගන්තියට අනුව, ජාතික ආරක්‍ෂාව සඳහා හෝ වරදක සන්දර්භය තුළ ඕනෑ ම විදුලි සංදේශ පද්ධතියක් හරහා ඇමතුම් සහ පණිවිඩ ග්‍රහණය කිරීමට හෝ ඇමතුම් පටිගත කර ගැනීමට ඕනෑ ම පුද්ගලයෙකුට බලය පැවරීමට ෆෙඩරල් රජයට බලය තිබේ.

 

කෙසේ වෙතත්, ෆෙඩරල් රජය පවසා ඇත්තේ, ඇමතුම් පටිගත කිරීමේ හෝ සවන්දීමේ ක්‍රියාවලිය සඳහා බුද්ධි අංශය විසින් නම් කරනු ලබන නිලධාරීන් එරට රාජ්‍ය සේවයේ 18 වැනි ශ්‍රේණියට වඩා පහළ අය නොවන බවය.

 

පසුගිය කාලය තුළ පකිස්ථාන අගමැතිවරුන්, ජනාධිපති ආර්යාව, ෆෙඩරල් අමාත්‍යවරුන් සහ ඉහළ පෙළේ නිලධාරීන් ඔවුන්ගේ පෞද්ගලික දුරකතන සංවාද ප්‍රසිද්ධියට පත් කළ බවට චෝදනා කළ අතර, හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබී ඉස්ලාමාබාද් මහාධිකරණයට පෙත්සමක් ගොනු කළා ය. ඔහුගේ නීතිඥවරයා සමග කළ සංවාදය හෙළිදරව් කිරීමේ සිද්ධිය විභාග වෙමින් පවතී.

 

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමේදී පකිස්ථානයේ දුරකතන සමාගම් ‘නීත්‍යනුකූල අවහිර කිරීම් කළමනාකරණ පද්ධතිය’ නමැති විශේෂිත පද්ධතියක් යටතේ රහස්‍ය ඒජන්සි වෙත පාරිභෝගික දත්ත ලබා දෙන බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

 

මෙම නඩුවේ තීන්දුවෙන් අධිකරණය කියා සිටියේ, රට තුළ ක්‍රියාත්මක වන දුරකතන සේවා සමාගම් තම පාරිභෝගිකයින්ගෙන් 2%ක (මිලියන 4ක පමණ) දුරකතන ඇමතුම්, පණිවිඩ සහ අනෙකුත් දත්ත සඳහා පකිස්ථාන රහස් සේවාවන්ට ප්‍රවේශය ලබා දී ඇතැයි දන්වා ඇති බව ය. ප්‍රවේශය ලබා දෙන්නේ, Intercept Management System නමැති ක්‍රමවේදයක් හරහා ය.

 

පකිස්ථාන රජය සහ පකිස්ථාන විදුලි සංදේශ අධිකාරිය (PTA) කිසිදු ආයතනයකට නිරීක්ෂණය කිරීමට ඉඩ නොදුන් බව අධිකරණයට පවසා ඇති බවත්, පකිස්ථාන රජය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් මෙම නඩුවේ තීන්දුවේදී අධිකරණය සඳහන් කළේ ය.

 

පුරවැසියන්ගේ පෞද්ගලික ජීවිතයට බාධා කරන ‘නීත්‍යනුකූල අවහිර කිරීම් කළමනාකරණ පද්ධතිය’ ස්ථාපනය කිරීමට වගකිව යුත්තේ කවුද?

 

اعظم تارڑ

 

ISI හි 'දුරකතන ටැප් කිරීමේ' බලය සාධාරණීකරණය කිරීම

අඟහරුවාදා පකිස්ථාන ජාතික සභාවේදී අදහස් දක්වමින් ෆෙඩරල් රජයේ නීති අමාත්‍ය නසීර් තරාර් පැවසුවේ, 1996 බලාත්මක කෙරුණු වසර 28ක් පැරණි නීතියක් වන පකිස්ථාන විදුලි සංදේශ පනත යටතේ, රටේ ඉහළ ම බුද්ධි ඒජන්සියට මෙම 'නීත්‍යනුකූල ග්‍රහණය කිරීමේ' බලය ලබා දී ඇති බව ය. ආරක්ෂාව පිළිබඳ උනන්දුව සහ අවශ්‍ය විටෙක, එරට රාජ්‍ය සේවයේ 18 වැනි ශ්‍රේණියෙන් ඉහළ සේවය කරන නිලධාරීන්ට දත්ත වෙත ප්‍රවේශ විය හැකි අතර, එම නිලධාරීන්ගේ ලැයිස්තුවක් ද ඇත.

 

හිටපු අගමැතිනි බේනසීර් භූතෝ රාවල්පින්ඩිහිදී සහ නියෝජ්‍ය පොලිස්පති මුබීන් ලාහෝරයේදී ඝාතනය කිරීමේ සිද්ධි ගැන සඳහන් කරමින් ඔහු ප්‍රකාශ කළේ, දුරකතන ඇමතුම් අධීක්ෂණය සහ මෘදුකාංග භාවිතයෙන් භූ-සීමාවන් යොදා සාක්ෂි රැස් කළ බව ය.

 

නීති අමාත්‍ය අසාම් නසීර් තරාර් පැවසුවේ, රජය විසින් නීතියට අනුකූලව ආයතනවලට සහ එහි නිලධාරීන්ට බලතල ලබා දෙන නිවේදන වරින් වර නිකුත් කරනු ලබන බව ය.

 

"මෙම (බලතල) ත්‍රස්තවාදයට එරෙහි වීම, ස්වදේශීය ආරක්ෂාව සහ අපරාධ හඳුනාගැනීම සඳහා භාවිත කරන බව සහතික කිරීම සඳහා, රජය නිවේදනයක් මගින් 'ප්‍රධාන ඔත්තු සේවා' ආයතනයට බලය ලබා දීලා තියෙනවා."

 

අසාම් නසීර් තරාර් පැවසුවේ, විෂය පථය නියෝජිතායතන 50 දක්වා ව්‍යාප්ත කිරීමට රජයට අවශ්‍ය නොවන බවත්, "සියලු දෙනාට ම බලතල ලබා දීම ද නුසුදුසු" බව ය.

 

රාජ්‍ය සේවයේ 18 වැනි ශ්‍රේණියට වඩා ඉහළ නිලධාරීන්ගේ නම් සහ ඔවුන්ට පවරා ඇති ක්ෂේත්‍රයන් අවභාවිත නොවන පරිදි කටයුතු කිරීමට ඔවුන්ට (ISI) නියෝග කර ඇති බව ෆෙඩරල් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

රජය විසින් තම අමාත්‍යාංශයට යොමු කරන ලද සාරාංශය සම්බන්ධයෙන් ෆෙඩරල් අමාත්‍යවරයා පැවසුවේ, මෙම සාරාංශය අමාත්‍යාංශයට යැවූ විට එහි සඳහන් වූයේ මේ සියල්ල කරන අතරතුර මිනිසුන්ගේ භෞතික ජීවිතය සහ පෞද්ගලිකත්වය ගැන ද සැලකිලිමත් වන බවත්, නීතිය අවභාවිත කරන අයට එරෙහිව පියවර ගන්නා බවත් ය.

 

නීති අමාත්‍ය අසාම් නසීර් තරාර් පැවසුවේ, මෙය අලුත් දෙයක් නොවන බව ය. පසුගිය වසර 28ක පමණ කාලයක සිට මෙම නීතිය ක්‍රියාත්මක වන බවත්, ලෝකයේ වෙනත් රටවල ද මෙවැනි නීති පවතින බවත් ඔහු සඳහන් කළේ ය. එක්සත් රාජධානියේ නීතියක් වන සන්නිවේදන නියාමනය පූර්ණ අවහිර කිරීමේ නීතිය වන 'Telecom Law Full Interception of Communication Regulation' උදාහරණයට ගනිමින් ඔහු කියා සිටියේ, මෙවැනි දේ එහි ද ක්‍රියාත්මක වන බව ය.

 

"[මෙම නීතිය] නිවැරදිව භාවිත කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව පරීක්ෂා කරන්න පුළුවන්. ඒත් මට අවශ්‍ය වුණේ, මේ නීතිය 1996 සිට ක්‍රියාත්මක වන බව ඔප්පු කරන්න යි."

 

විපක්‍ෂය අමතමින් ඔහු පැවසුවේ, මෙම නීතිය මෙතරම් නරක නම් ජාතික විරෝධී නම් ඔබ වසර හතරක් ආණ්ඩුවේ සිටියදී එය අහෝසි කළ යුතුව තිබූ බව ය.

 

آئی ایس آئی، فون ٹیپنگ
ආරක්ෂක අමාත්‍ය ඛවාජා අසීෆ්, අන්තර්-සේවා බුද්ධි අංශයට අනීතික ග්‍රහණය කිරීම් සඳහා පූර්ණ බලතල ලබා දීමට සහය පළ කර ඇත

 

'අනීතික ග්‍රහණය කිරීමක් හරි ද, වැරදි ද? යන්න විවාදාත්මක යි'

 

ආරක්ෂක අමාත්‍ය ඛවාජා අසීෆ්, අන්තර්-සේවා බුද්ධි අංශයට අනීතික ග්‍රහණය කිරීම් සඳහා පූර්ණ බලතල ලබා දීමට සහය පළ කර ඇත.

 

පකිස්ථානයේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වන Geo News සමග පැවති සංවාදයකදී ඔහු, විපක්ෂ නායක උමාර් අයුබ් විවේචනය කළ අතර, ඔහුගේ නායක සහ හිටපු අගමැති ඉම්රාන් ඛාන් විසින් ම දුරකතනවලට ඇහුම්කන් දීමේ සහ ඇමතුම් ලුහුබැඳීමේ ප්‍රතිලාභ සම්මුඛ සාකච්ඡාවකදී පවසනු ලැබූ බව පැවසීය.

 

ඛවාජා අසීෆ් ඉම්රාන් ඛාන්ගේ වචන පුනරුච්චාරණය කරමින් මෙසේ කීය. 'මට ගොඩක් සතුටුයි. මේක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. මගේ ම දුරකතනය නාද වෙනවා. මගේ ආරක්ෂාව වෙනුවෙන් මගේම හඬ අසා සිටිනවා.'

 

عمر ایوب، آئی ایس آئی

 

අමෙරිකාවේ සහ එක්සත් රාජධානියේ ද ජාතික ආරක්ෂාවේ නාමයෙන් නීතිවිරෝධී ග්‍රහණය කිරීම් සිදු කරන බව ඔහු පැවසීය. 'ඒක කරන එක හරි ද? වැරදි ද?, ඒක විවාදාත්මක යි.'

 

නිවේදක ෂහසෙබ් ඛාන්සාඩා මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ, "ඉන්දියාවේ මෙය සිදු වන්නේ මධ්‍යම ස්වදේශ කටයුතු ලේකම්ගේ අවසරය ඇතිව. එක්සත් රාජධානියේ බුද්ධි අංශ ප්‍රධානියා හෝ පොලිසිය සාමාන්‍යයෙන් උසාවියෙන් වරෙන්තුවක් ලබා ගන්නවා, ඉල්ලීමක් කරලා.

 

පකිස්ථානයෙත් ඒ විදියට ම කරනවා. ඒජන්සිවලින් වාර්තා ඉල්ලා සිටින ලෙස අධිකරණය අගමැතිගෙන් ඉල්ලා සිටියා ම අගමැතිවරයා බුද්ධි අංශයට පූර්ණ බලය ලබා දුන්නා.

 

ඔබ නම් කරන රටවල් ඇහුම්කන් දෙන්නේ අපේ රටේ ඇමතුම්වලට මිසක් ඔවුන්ගේ රටවල ඇමතුම්වලට නෙවෙයි" යනුවෙන් ආරක්ෂක අමාත්‍යවරයා පිළිතුරු දුන්නේ ය.

 

"ඔවුන් අපට ඇහුම්කන් දෙනවා, අපි ගැන ඔත්තු බලන්න."


'උඩ තියෙන ගණන් කරන්න බැරි තරම් චන්ද්‍රිකා අපට පෙම් හසුන් ලියමින් කරන්නේ ඒක තමයි.'

 

ISI බුද්ධි අංශයට 'විවෘත නිදහසක්' ලබා දීම ගැන මෙතරම් විවේචන එල්ල වන්නේ ඇයි?

 

ජාතික සභාවේ විපක්ෂ නායක උමාර් අයුබ් ඛාන් පවසන්නේ, මෙම දැනුම්දීම ෂාබාස් ෂරීෆ් විසින් ම කරනු ලැබ ඇති බව ය.

 

සමාජ මාධ්‍ය වේදිකාවක් වන Xහි ඔහු සටහන් කර තිබුණේ, බුද්ධි අංශ ආයතනයකට එවැනි 'විවෘත නිදහස් කිරීමක්' දිය හැක්කේ ෆැසිස්ට් රජයකට පමණක් බව ය.

 

බිලාවල් භූතෝ, අසීෆ් සර්දාරි, මරියම් නවාස් ඇතුළු සියලු ම දේශපාලනඥයින් සහ මාධ්‍යවේදීන් බ්ලැක්මේල් කිරීමට සහ හිරිහැර කිරීමට අන්තර්-සේවා බුද්ධි අංශය මෙම නියෝගය භාවිත කරන බැවින් ෂබාස් ෂරීෆ් ප්‍රායෝගිකව ඔහුගේ ම බල නහරය කපා ගත් බව ඔහු පවසයි.'

 

මෙම නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට පටහැනි බැවින් තම නීතීඥ බබාර් අවාන් මාර්ගයෙන් එය අභියෝගයට ලක් කරන බව විපක්ෂ නායකවරයා පවසයි.

 

آئی ایس آئی

 

පකිස්ථානයේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් විශාල පිරිසක් මෙම තීරණයට එරෙහිව පෙළ ගැසී ඇති අතර එය ඔවුන්ගේ මූලික අයිතිවාසිකම්වලට පටහැනි බව ප්‍රකාශ කර ඇත.

 

නීතීඥ රීඩා හුසේන්ගේ මතය අනුව, මෙම රජයේ මුලපිරීම ඉස්ලාමාබාද් මහාධිකරණ විනිසුරු බාබාර් සත්තාර්ගේ නියෝගය උල්ලංඝණය කිරීමකි. ඔහු සිය නියෝගයේ ලියා ඇත්තේ, "2013 සාධාරණ නඩු විභාගය පිළිබඳ විමර්ශන පනත අනුව, ඇමතුම් ග්‍රහණය කිරීම් සඳහා අධිකරණ වරෙන්තුවක්. අවශ්‍ය බව සදහන් කර තිබෙනවා."

 

فون ٹیپنگ

 

මාධ්‍යවේදී අබ්බාස් නසීර් පවසන්නේ, දෙමුහුන් රජය පකිස්ථානුවන්ගේ පෞද්ගලිකත්වය අහෝසි කර ඇති අතර පුරවැසියන්ගේ පෞද්ගලික සංවාද නිරීක්ෂණය කිරීමට අන්තර්-සේවා බුද්ධි අංශයට ඉඩ දී ඇති බව ය. 'දෙමුහුන් ක්‍රමයට අවශ්‍ය වන්නේ, ආර්ථික නිෂ්පාදනයෙන් තොර චීනය වැනි අධිකාරීවාදී ක්‍රමයක් ගෙන ඒම යි.'

 

නිඝාත් දාද් පවසන්නේ, සාධාරණ නඩු විභාග කිරීමේ පනතේ ද සඳහන් වන්නේ යමෙකු පිළිබඳ නිරීක්ෂණ හෝ ඇමතුම් පටිගත කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරයෙකුගෙන් වරෙන්තුවක් ලබා ගත යුතු ය යනුවෙන් බව ය.

 

ඔහුගේ මතය අනුව, මෙම පියවර කනස්සල්ලට හේතු වන අතර එය 'අධීක්‍ෂණය කරන්නේ කවුද?' වැනි ප්‍රශ්න රාශියක් මතු කරයි. නීතිමය අවශ්‍යතා සපුරාලන්නේ ද? කිසියම් උල්ලංඝණයක් සිදු වුවහොත් වගවීම තිබේ ද? ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන එම පුරවැසියන්ගේ පෞද්ගලිකත්වයට හානි වේවි ද?' යන ගැටලු පැන නැගෙනු ඇත.

 

අනෙක් අතට, තාක්‍ෂණික ගැටලු සම්බන්ධයෙන් රජයට යෝජනා සපයන Avrox නම් තාක්‍ෂණ සමාගමේ ප්‍රධානියා වන සල්මාන් මෙහ්මුද් පවසන්නේ, නීතිමය ග්‍රහණයකර ගැනීම් තුළින් ලොව පුරා ත්‍රස්තවාදී සිදුවීම් වැළැක්වීම වැනි යම් යම් වාසි ඇති වන බව ය.

 

කෙසේ වෙතත්, මෙම නීතියෙන් යම් පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයට හානියක් සිදු නොවන බව ඔවුන් පිළිගන්නා නමුත්, ඔවුන්ට අනුව, විශාල අවශ්‍යතාවයෙන්, සමහර අවස්ථාවල පෞද්ගලිකත්වය වෙනුවට ජීවිතයට තර්ජනයක් තිබේදැයි සොයා බැලිය යුතු ය.

 

 BBC සිංහල

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.