2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ AI ඩීප්ෆේක්ස්වලට අදාලව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇතිබව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) පවසයි.

2024 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා පැමිණිලි දළ වශයෙන් 400ක් පමණ ලැබී ඇති බව එම සංසදයේ තොරුතුරු ආරක්ෂණ ඉංජිනේරු තිනුරි තිසේරා සඳහන් කරයි.

"ඩීප්ෆේක්ස්වලට අදාලව පළිගැනීම්, මූල්‍ය වංචා, ලිංගික හිංසන වගේ පැමිණිලි ලැබීමේ කාණ්ඩවල වැඩිවීමක් වෙලා තියෙනවා ගිය අවුරුද්දට සාපේක්ෂව. ඡායාරූප යොදාගෙන කරන අකටයුතුකම් ගැන තමයි ගොඩක් වෙලාවට පැමිණිලි එන්නේ. AI bots යොදාගෙන ඡායාරූප නිරුවත් ඒවාට හරවන සිදුවීම් ගැන පැමිණිලි ලැබිලා තියෙනවා. ඒවා පාවිච්චි කරලා මුදල් වංචා කරන්න, එහෙමත් නැතිනම් විවිධ ස්ථානවලට ගෙන්නගන්න උත්සහ ගත් අවස්ථාවලට ඩීප්ෆේක් පාවිච්චි කරලා තියෙනවා."

"ප්‍රධාන පෙළේ බැංකුවක නිළ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ්අඩවි හදන එක ලොකු ගැටළුවක් වෙලා තිබුණා. අපි ඒවගේ ව්‍යාජ වෙබ් අඩවි 12ක් ඉවත් කළා. ඒත් අයින් කරන්න කරන්න ආපහු හදනවා. Generative AIවලින් කෝඩින් කරන්න පහසු නිසා මේ තත්වේ එන්න එන්නම වැඩිවෙලා තියෙනවා. ඒවගේම නිරුවත් ඡායාරූප අයින් කරගන්න රජයෙන් කරනවා කියලා "SL Remove Service" නමින් ව්‍යාජ සේවාවක් විදියට පෙනී ඉඳිමින් මුලින් ඩීප්ෆේක්ස් යවලා උසස්පෙළ කරන වයසේ ළමයි ගෙන් ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා ඔරිජිනල් ඡායාරූප ගෙන්න ගත්ත අවස්ථා ගැන පැමිණිලි ලැබිලා තියෙනවා. හරියටම තහවුරු කරගන්න නිරුවත් ඡායාරූප එවන්න කියලා තමයි මේවා ගෙන්නගෙන තියෙන්නේ. මේ වගේ අවස්ථාවල දී කිසිම විදියකට අනවශ්‍ය ලෙස කලබල වෙන්න හොඳ නැහැ. ආයතනයක් විදියට අපිට දෙන්න පුළුවන් උපදෙස තමයි මොනම විදියකටවත් ඡායාරූප වේවා කිසිම දත්තයක් පිටතට යවන්න එපා කියන එක. ඒ වගේ අවස්ථාවක දී අපේ ආයතනයට කතා කරන්න හරි ඇවිත් පැමිණිලි කරන්න හරි පුළුවන්. උපකාර අවශ්‍ය ඕනෑම කෙනෙක්ට ගතයුතු පියවර ගැන අපි දැනුවත් කරනවා."

සබැඳි ලිපි

AI ඩීප්ෆේක්ස් : සමාජය අල්ලේ නටවන්නට අලුතින්ම වේදිකා ගතවන නවීන පන්නයේ මහාමුලාව - (අභිෂේකා වාසල බණ්ඩාර)

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.