මෙම සරත් සෘතුවේදී විශ්වීය විස්මයක් අත්දැකීමට සූදානම් වන්න. විද්‍යාඥයින්ට අනුව, පෘථිවිය දෙවන චන්ද්‍රයෙකු ලැබීම ආසන්නයේ සිටියි.

එනම්, පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයෙන් ග්‍රහණය කර ගන්නා කුඩා ග්‍රහකයක් තාවකාලිකව "කුඩා සඳක්" බවට පත් වීමට නියමිතව තිබේ.

මෙම අභ්‍යවකාශ ආගන්තුකයා පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් මිදීමට පෙර සැප්තැම්බර් 29 වන දා සිට මාස කිහිපයක් පමණ එලෙස රැඳී සිටිනු ඇත.

කණගාටුවට කරුණ නම්, ඔබට වෘත්තීය මට්ටමේ දුරේක්ෂයක් නොමැතිව, මෙම දෙවන චන්ද්‍රයා දැකීමට නොහැකි තරම් කුඩා හා අඳුරු වීම ය.

මෙම ග්‍රහකය ප්‍රථම වරට NASAහි Asteroid Terrestrial-Impact Last Alert System (ATLAS) මගින් සොයාගනු ලැබුවේ අගෝස්තු 7 වන දා ය.

විද්‍යාඥයින් විසින් එහි ගමන් පථය පිළිබඳව අධ්‍යයනය කර එම සොයා ගැනීම් පිළිබඳව ඇමෙරිකානු තාරකා විද්‍යා සංගමයේ පර්යේෂණ සටහන්හි පළ කරනු ලබ ඇත.

2024 PT5 ලෙස විද්‍යාඥයින් විසින් හඳුන්වනු ලබන මෙම ග්‍රහකය, පෘථිවියට බෙහෙවින් සමාන කක්ෂයක ගමන් කරන, පාෂාණ අඩංගු අර්ජුන ග්‍රහක කලාපයෙන් පැමිණේ.

ඇතැම් අවස්ථාවලදී, මෙම ග්‍රහකවලින් සමහරක් අපගේ ග්‍රහලෝකයේ සිට සැතපුම් මිලියන 2.8ක් (කිලෝමීටර් මිලියන 4.5ක්) පමණ දුරක් දක්වා සාපේක්ෂව සමීපයට පැමිණේ.

මේ පිළිබඳව අධ්‍යයනය කළ පර්යේෂකයන්ට අනුව, මෙවැනි ග්‍රහකයක් පැයට සැතපුම් 2,200 (3,540km/h) පමණ අඩු වේගයකින් ගමන් කරන්නේ නම්, පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයට ඒ වෙත ප්‍රබල බලපෑමක් ඇති කළ හැකි අතර, එම බලය එය තාවකාලිකව රඳවා ගැනීමට තරම් ප්‍රමාණවත් වනු ඇත.

සිදුවීමට නියමිත දේ හරියට ම පවසන්නේ නම්, මෙම සති අන්තයේ සිට මෙම කුඩා ග්‍රහකය පෘථිවිය වටා ගමන් කරමින් මාස දෙකක පමණ කාලයක් ගත කරනු ඇත.

තාරකා විද්‍යාඥ සහ Awesome Astronomy Podcast වැඩසටහන ඉදිරිපත් කරන ආචාර්ය ජෙනිෆර් මිලාඩ් බීබීසීහි 'ටුඩේ' වැඩසටහනට පැවසුවේ, මෙම ග්‍රහකය සැප්තැම්බර් 29 වන දින කක්ෂයට ඇතුළු වන බවත් පසුව නොවැම්බර් 25 වන දින ඉන් ඉවතට යනු ඇති බවට පුරෝකථනය කළ බවත් ය.

"ඒක අපේ ග්‍රහලෝකය වටා සම්පූර්ණ වටයක් ගමන් කරන්නේ නැහැ. ඒක එයාගේ ගමන් පථය වෙනස් කරලා, ඒ කියන්නේ අපේ ග්‍රහලෝකයේ ගුරුත්වාකර්ෂණ බලය නිසා ටිකක් වෙනස් වෙලා, පස්සේ ඒක එයාගේ සුපුරුදු ගමන් මාර්ගයේ යනවා," ඇය පැවසුවාය.

මෙය ආසන්න වශයෙන් මීටර් 10ක් දිගින් යුක්ත වන අතර, ආසන්න වශයෙන් කිලෝමීටර් 3,474ක විෂ්කම්භයක් ඇති පෘථිවි චන්ද්‍රයා හා සැසඳීමේදී ඉතා කුඩා ග්‍රහකයකි.

එය කුඩා හා අඳුරු පාෂාණවලින් සෑදී ඇති නිසා එය දුරදක්න හෝ නිවසේදී භාවිත කරන දුරේක්ෂයක් යොදා ගත්ත ද පෘථිවියේ සිටින මිනිසුන්ට දැකිය නොහැක.

"වෘත්තීය මට්ටමේ දුරේක්ෂයකින් ඒක දැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබට විශාල වේගයකින් තාරකා පසු කර යන, කුඩා තිතක් වගේ දෙයක අපූරු ඡායාරූප අන්තර්ජාලයෙන් බලා ගන්න පුළුවන් වේවි," ආචාර්ය මිලාඩ් පැවසීය.

ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රයින් මීට පෙර ද දැක ඇති නමුත් තවත් බොහෝ ඒවා මගහැරෙන්නට ඇතැයි සැලකේ.

ඇතැම් ඒවා නැවත නැවතත් පැමිණි අතර 2022 NX1 ග්‍රහකය 1981දී කුඩා චන්ද්‍රයෙකු ලෙස දිස් වී 2022 වසරේදී නැවත දිස් විය.

එබැවින් මෙය මග හැරුණහොත් ඔබ කම්පා විය යුතු නැත. විද්‍යාඥයින් අනාවැකි පළ කරන්නේ, 2024 PT5 ද 2055දී නැවත පෘථිවි කක්ෂයට පැමිණෙනු ඇති බව ය.

"මේ කතාවෙන් ඉස්මතු වෙන්නේ අපගේ සෞරග්‍රහ මණ්ඩලය කෙතරම් කාර්යබහුල ද යන්න සහ අප සොයා නොගත් දේ එහි කොපමණ තිබේ ද යන්න. මොකද මේ ග්‍රහකය සොයා ගත්තෙත් මේ අවුරුද්දේ නිසා.

"අප සොයා නොගත් වස්තූන් දස දහස් ගණනක්, නැත්නම් සිය දහස් ගණනක් තියෙනවා. ඒ නිසා රාත්‍රී අහස අඛණ්ඩව නිරීක්ෂණය කරන්න සහ මෙම සියලු වස්තූන් සොයා ගැනීමට අපට හැකි වීමේ වැදගත්කම මේක ඉස්මතු කරනවා," ආචාර්ය මිලාඩ් පැවසීය.

 BBC සිංහල 

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.