ලංකාව ටෙස්ට් ලැබ් එකක් විදියට පාවිච්චි වෙන රටක් ද? - අභිෂේකා වාසල බණ්ඩාර
"ආදරය කරන්න බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද ?" "නෑ" "ලංකාවේ කෙනෙක් හොයාගන්න කැමති ද?" "ආ....ම්..... මම හිතන්නේ ලංකාවට ගිහින් බෝයි ෆ්‍රෙන්ඩ් හොයාගන්න එක හොඳයි." "හොඳයි හොඳයි"
"ඒ සිද්ධියෙන් පස්සේ කොහේ ගියත් මට දැනුණේ හැමෝම මගේ දිහා බලනවා වගේ.
මගේ ඔළුවේ වැඩ කළේම ඒ හදපු ෆොටෝ එක හැමෝම ළඟ තියෙනවා කියලා. බස් එකක යනවා තියා ගෙදරින් එළියට බහින්නවත් මම බයවුණා," අප සමඟ මේ බව කියා සිටියේ මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින තරුණියකි. සිය අනුදැනුමකින් තොරව ගන්නා ලද ඡායාරූපයක් යොදාගෙන උත්පාදක කෘත්‍රිම බුද්ධිය ඇසුරින් නිර්මාණය කළ ඩීප්ෆේක් ඡායාරූපයක් නිසා කලක් මානසිකව පීඩා විඳි ඇය තම අනන්‍යතාව හෙළි නොකරන ලෙස අපගෙන් ඉල්ලා සිටියාය.
"සිද්ධිය වුණ දවස්වල ඒ ගැන හිතලා වැඩිකමට සමහර වෙලාවල් තිබුණා මට මං ගැන විශ්වාසය නැතිවෙච්ච, ඩීප්ෆේක් නෙවෙයි මේ ඇත්තටම මගේ ෆොටෝ එකක් කියලා හිතිච්ච වෙලාවල් තියෙනවා."

උපකාරක පන්තියක සමවයස් තරුණයකුගෙන් ලද පෙම් ඇරයුමක් ප්‍රතික්ෂේප කිරීම මුල්කොටගෙන ඔහු විසින් මෙම තරුණියගේ මුහුණ යොදා නිර්මාණය කළ අඩ නිරුවත් ඩීප්ෆේක් ඡායාරූපයක් ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ මිතුරන් අතර බෙදාහැරීම නිසා තමන් පිළිබඳ විශ්වාසය අහිමිවන තැනට ඇය මානසිකව කඩා වැටී තිබුණි. ව්‍යාකුලත්වයේ අන්තයට ගිය තැන මනෝ උපදේශනයේ සහය පැතීමට පවා ඇයට සිදුව තිබුණි.
"මගේ අම්මයි තාත්තයි ළඟම යාළුවොයි මාව විශ්වාස කරපු හන්දා තමයි අද මේ විදියට ඉන්න මට ඔලුව හදාගන්න පුළුවන් වුණේ."
දිනෙන් දින අතිශය සංකීර්ණ වෙන උත්පාදක කෘත්‍රිම බුද්ධි තාක්ෂණය අවභාවිතය නිසා වින්දිතභාවයට පත් වන්නේ කාන්තාවන් හෝ ළමුන් පමණක් නොවේ. එහි බලපෑමෙන් සමාජයක් වින්දිතභාවයට පත්වීමේ අවදානමක් පවතින බව පර්යේෂකයෝ පෙන්වා දෙති. ඩීප්ෆේක්ස් එම අවදානම තවත් ඉහළ නංවයි.
මොකක්ද මේ ඩීප්ෆේක්ස් ?

ඩීප්ෆේක්ස් යනු උත්පාදක කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින්, එහි ඇති ඉතා සංකීර්ණ ලෙස යමක් විශ්ලේෂණය කිරීමේ, සියුම් ලෙස හඳුනා ගැනීමේ සහ වෙනස් කිරීමේ ඥාණය භාවිතයෙන් වීඩියෝවක්, ඡායාරූපයක්, හඬ පටයක් හෝ ලිඛිත යමක් සැබෑවක් යැයි හැඟෙන පරිදි උත්පාදනය කිරීම හෝ අන්‍ය ආකාර කිරීම යි. පුද්ගලයන් ප්‍රතිනිර්මාණය පමණක් නොව උත්පාදක කෘත්‍රිම බුද්ධිය ඇසුරින් සත්වයන්, කලාකෘති, සින්තටික් පරිසර, සිදුවීම් හෝ අවස්ථා සහිත සත්‍ය යැයි හැඟවෙන නිර්මාණ උත්පාදනය කිරීම ද ඩීප්ෆේක්ස් ලෙස හැඳින්විය හැකිය.
ඉතා තාත්වික ඩීප්ෆේක්ස් අන්තර්ගතයන් නිර්මාණය කිරීම සඳහා බොහෝ විට මූලික වශයෙන් භාවිත වන්නේ Generative Adversarial Networks (GANs) වැනි යාන්ත්‍රික ඉගෙනුම් මොඩල යි. මෙවැනි මොඩල මගින් සිදු කරන්නේ පෙර ඉගෙනුම් දත්ත මත පදනම්ව අලුතින් යමක් නිර්මාණය කිරීම යි. GAN මොඩලයට සම්පූර්ණයෙන්ම පාහේ අලුත් දත්ත උත්පාදනය කිරීමේ හැකියාව පවතී. පහතින් පෙනෙන ඡායාරූපයේ දැක්වෙන්නේ එලෙස උත්පාදනය කළ මිනිස් රූපයි.

කෙනකුගේ කටහඬ එලෙසින්ම අනුකරණයේ සිට හඬ, චලන, රූපය, හැඟීම්, ප්‍රකාශන සහිතව සම්පූර්ණ චරිතයක් මැවීම දක්වා ඉඩ පරාසයකට ඕනෑම කෙනෙකුට ගමන් කිරීමට මෙමගින් හැකියාව ලබාදී තිබේ. එසේම, ඩීප්ෆේක්ස් සැබෑ අන්තර්ගතයන්ගෙන් වෙන්කොට හඳුනා ගැනීම දිනෙන් දින අතිශය දුෂ්කර වෙමින් පවතී.





සමාජ මාධ්‍යවල පළ කෙරෙන ඩීප්ෆේක් අන්තර්ගතයන් නිසා පුද්ගල විශ්වාස, ආකල්පවල පැහැදිලි වෙනස්කම් ඇතිකරන අතර බොහෝවිට ඒවා අදාළ අන්තර්ගතයන් නිර්මාණය කෙරෙන පුද්ගලයන්ගේ අරමුණු අනුව හැඩ ගැසේ. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ මේවා ඉදිරිපත් කරනවිට පරිශීලකයන් එයින් උත්තේජනයක් ලැබීමට ඇති ඉඩකඩ වැඩිවේ. එවිට සිදුවන්නේ අර්ථාන්විත කතිකා මගහරින සුළු, තොරතුරු සිඝ්‍රයෙන් ව්‍යාප්ත වීමකි.



"උත්පාදක කෘත්‍රිම බුද්ධි අන්තර්ගතයන් කතා කරන්නේ බුද්ධියට නෙවෙයි හදවතට. හදවතින් මිනිස්සු හසුරවන එක Generative AI හරහා සුක්ෂ්ම විදියටත්, සමාජයකට බලපාන විදියට අති විශාල වශයෙන් නිෂ්පාදනය කරලත් කරන්න පුළුවන්. එක්කෙනෙක් දෙන්නෙක්, සියයක් දෙසියයක් නෙවෙයි මිලියන ගණනකට සමාජ මාධ්‍ය හරහා නොමිලේ සරල විදියට යමක් ව්‍යාප්ත කරන්නත්, නිෂ්පාදනය කරන්නත් Generative AI හරහා ඉඩ ලබාදී තියෙනවා. මැතිවරණ කාලයක, ප්‍රචණ්ඩත්වයක් ඇති අවස්ථාවක, පාර්ලිමේන්තු විවාද ඇති කාලයක, යම් ඛේදවාචකයක් වුණාට පස්සේ මේ වගේ විවිධ අවස්ථාවල ගෝලීය වශයෙන් වගේම දේශීය වශයෙන් බුද්ධියට නෙවෙයි ගැහෙන හදවතට දනවන්න, සමාජය හසුරවන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. හරියට DJ කෙනෙක් සංගීතය හසුරවනවා වගේ Generative AI වලින් සමාජයක කෝපය, දුක, බිය මේ තුන හසුරවන්න පුළුවන්. ඕනෑම කෙනකුට එය කිරීමේ හැකියාව Generative AI වලින් ලබාදීලා තියෙනවා."



"සමාජයටම තියෙන ප්‍රශ්නයක් තමයි ඩීප්ෆේක්ස් කියලා ඒ වගේ නිර්මාණ ප්‍රචාරය වුණාම ඒක ගොඩක් දෙනෙක් බලනවා නම්, ඒක සාවද්‍ය තොරතුරක් ඇත්ත තොරතුරක් කියලා කියන්නේ කොහොම ද කියන එක? අපි ඇත්ත පුවතක් කියලා කියන්නේ බොරු පුවතක් කියලා කියවීමේ හැකියාව තියෙන නිසා. ඇත්ත කියන්නේ බොරුවේ තවත් පැතිකඩක්. බොරුවක් බොරුවක් ලෙස හඳුනා ගැනීමට අපිට නොහැකි නම් ඇත්ත ඇත්තක් ලෙස අපිට හඳුනා ගන්න බැහැ. ඇත්ත බොරුව වෙන්කර හඳුනාගත නොහැකි සමාජයක් මෙතෙක් මානව ඉතිහාසයේ ඇතිවෙලා නැහැ. බිහිවෙලා නැහැ. අපි ගමන් කරන්නේ ඒවගේ සමාජයකට. මේක අවුරුදු 10-20කින් වෙන දෙයක් නෙවෙයි. ඒ වගේ සමාජයක් බිහිවෙන්නේ තව අවුරුදු 2-3කින්. ලංකාවෙත් බටහිර ලෝකයේත්. පර්යේෂකයන් ලෙස අපිට මේක අලුත් ප්‍රශ්නයක්. කාටවත් උත්තරයක් නැහැ. නමුත් මෙය ගැඹුරු ප්‍රශ්නයක්."

ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන අංශයෙන් අපි මේ සම්බන්ධව විමසා තොරතුරු ඉල්ලීමක් (RTI) කළෙමු. එම අංශය ලබාදුන් තොරතුරු අනුව 2024 වර්ෂයේ ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 5 වැනිදා දක්වා AI ඩීප්ෆේක්ස්වලට අදාලව ලැබී ඇත්තේ එක් පැමිණිල්ලක් පමණකි. කෙසේ වෙතත්, පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත 2024 වසරේ ජනවාරි සිට දෙසැම්බර් 5 වැනිදා දක්වා ස්ත්‍රී පුරුෂ කාණ්ඩ වශයෙන් ගත්විට පිලිවෙලින් පැමිණිලි 2226ක් සහ 2635ක්, ළමුන් සම්බන්ධ පැමිණිලි 38ක්, දුස් තොරතුරු හෝ ව්‍යාජ පුවත් ප්‍රචාරය සම්බන්ධයෙන් පැමිණිලි 161ක්, පුද්ගලිකත්වය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 1239ක් ලැබී ඇති බවත් මෙම පැමිණිලි අතර AI ඩීප්ෆේක්ස් යොදාගැනීම් තිබිය හැකි නමුත් ඒවා වර්ගීකරණය කිරීම අපහසු බවත් ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන අංශය වැඩිදුරටත් අප සමඟ පැවසීය.

ඩීප්ෆේක්ස්වලට අදාලව ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන අංශයට ලැබී ඇති එකම පැමිණිල්ල කාන්තා ලිංගික හිංසන සම්බන්ධ පැමිණිල්ලක් බැවින් අප පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයෙන් ද මේ පිළිබඳව විමසීමක් කර බැලුවෙමු. එම කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර අප සමඟ කියා සිටියේ AI ඩීප්ෆේක්ස් සම්බන්ධ පැමිණිලි කිසිවක් ලැබී නැති බවයි.

2021 වසරේ දී යුරෝපා කොමිසම ගෙනා යෝජනාවක් අනුව සම්පාදනය කළ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ පනත යුරෝපා සංගමයේ රටවල් තුළ බලාත්මක කරනු ලැබුවේ ඉකුත් අගෝස්තු 1 වැනිදා සිටයි. ඇමරිකා එක්සත් ජනපදය, චීනය වැනි ලෝක බලවතුන්ද කෘත්‍රිම බුද්ධි භාවිතයට අදාළ නීති සම්පාදනය කිරීමට කටයුතු කර තිබේ. නීති සම්පාදනයේ දී AI හා සම්බන්ධ අවදානම් එනම්, අගතියට පත්වීම්, වෙන් කොට සැලකීම් සහ වගවීමේ හිඩැස් ගැන මෙන්ම නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම් සහ AI වැඩි දියුණු කිරීම දිරිමත් කිරීම් ගැන ද මෙම රටවල් අවධානය යොමුකර තිබේ.

"අපි ගමන් කරමින් ඉන්නේ ඇත්ත නැත්ත හඳුනාගත නොහැකි ලෝකයකට. ඩීප්ෆේක් යුගයේ අපිට දෙයක් ඇත්තද නැත්ත ද කියලා කියලා කියන්න බැරි වෙනවා. ඒක හොයාගන්න බැරිව සමාජයම වෙහෙසිමකට පත්වෙනවා. මගේ අම්මට මට කියලා දෙන්න බෑ ඩිජිටල් සාක්ෂරතාව ගැන. අම්මට හැකියාවකුත් නෑ තේරෙන්නෙත් නෑ ඒවා. ඒවගේ මිලියන ගාණක් ඉන්නවා. එතකොට ඩීප්ෆේක් වගේ නිෂ්පාදනවලින් සිද්ධ වෙන්නේ ඇත්තද නැත්තද කියලා ප්‍රශ්න කිරීමේ අවශ්‍යතාවත් අහෝසි කරලා දාන එක."
"ආදරය කරන්න බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද ?" "නෑ" "ලංකාවේ කෙනෙක් හොයාගන්න කැමති ද?" "ආ....ම්..... මම හිතන්නේ ලංකාවට ගිහින් බෝයි ෆ්‍රෙන්ඩ් හොයාගන්න එක හොඳයි." "හොඳයි හොඳයි"
වර්ෂ 2016 දී වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය ජපන් ජාතික විද්‍යාඥ යොෂිනොරි ඕසුමි (Yoshinori Ohsumi) වෙත පිරිනැමීමත් සමඟ ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ අප මෙතෙක් නොසිතූ අන්දමේ විස්මිත සොයාගැනීමක් වෙතය.
අපි අපට හිමිවිය යුතු අයිතිවාසිකම් ලබාගැනීම උදෙසා සටන් කරන්නෙමු. නීතියේ පිළිසරණ පතන්නෙමු. අයිතිවාසිකම් හිමි වූ පසු ඒවා රැකගන්නට වෙර දරන්නෙමු. එලෙස නීතිමය ප්‍රතිපාදන සැලසුණු පසුත්, සිය මූලික අයිතීන් සපුරා ගැනීමේ ඉඩකඩ 16 වසරක් තිස්සේ එක් ප්රජාවකට ඇහිරී තිබීමම, ඔවුන් කෙරෙහි වගකිවයුත්තන්ගේ ඇති සැලකිල්ලේ තරම පෙන්වයි.