ඉවත්කළ ආරක්ෂාව ඉල්ලා මහින්ද ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
“බබ්බු එක්ක මේක කරන්න බෑ” මේ, ඔක්තෝබර් 29 වන දා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පන්නල ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්රචාරක රැස්වීමකදී වත්මන් රජයේ අග්‍රාමාත්‍යවරිය වන මහාචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකි.
ඔහු මේ ප්‍රතිචාරය දැක්වූයේ, ‘ඉහළ දැමූ’ රාජ්‍ය සේවක වැටුප් ලබා දීමට නොහැකි වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය ඔක්තෝබර් 27 වන දා පාදුක්ක ප්‍රදේශයේ ජන හමුවකදී කළ ප්‍රකාශයක් පාදක කරගෙන ය.
ඒ අනුව, හිටපු ජනපති සහ වත්මන් අග්‍රාමාත්‍යවරිය අතර යම් වාග් සටනක් වර්ධනය වෙමින් පවතින බව නිරීක්ෂණය වෙයි.
හරිනි කිව්වේ කුමක් ද?
පාදුක්ක ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කළ බව කියන කතාව “මැතිවරණ කාලයක දුන් බොරු පොරොන්දුවක්” බව ය.
“දැන් රනිල් වික්‍රමසිංහ කිව්වට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වර්ධනය කිරීමට තීරණයක් ගත්තා කියලා, අපි ඒ කැබිනට් සාකච්ඡාවේ කැබිනට් තීරණය බලනකොට භාණ්ඩාගාරයෙන්වත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන්වත් අනුමැතියක් අරගෙන නෙමෙයි ඒ තීරණය අරගෙන තියෙන්නේ. තීරණය ප්‍රකාශ කළා, නමුත් තීරණය ක්‍රියාත්මක කිරීමට කරන්නට ඕනේ කොටස කරලා නෙමෙයි ඒ තීරණය අරගෙන තියෙන්නේ. එතකොට ඒකෙන් මොකක් ද කියන්නේ? ඒක ඉතාමත් ම පැහැදිලිව ජනතාව නොමග යවන්න මැතිවරණ කාලයක් තුළ දුන්න බොරු පොරොන්දුවක්.”
රනිල්ගේ ප්‍රතිචාරය
අග්‍රමාත්‍ය මහාචාර්ය හරිනි අමරසූරිය කළ එම ප්‍රකාශයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රතිචාර දැක්වූයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උපුටා දක්වමිනි.
“මෙතුමිය කියන්නේ නිලධාරීන්ගේ අනුමැතිය ඕනෙ කියලා කැබිනට් මණ්ඩලයට ක්‍රියා කරන්න. කොහෙන් ද ව්‍යවස්ථාව ඉගෙන ගත්තේ? ව්‍යවස්ථාවේ 43 වන වගන්තිය කියනවා ජනරජයේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේ ය. ඇමති මණ්ඩලය තමයි රට පාලනය කරන්නේ. මේකෙ කොහෙවත් නිලධාරියෙක් ගැන කියන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි, ඊළඟට කියනවා, අග්‍රාමාත්‍යවරයාගෙන් අදහස් විමසා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරු පත් කරනු ලැබිය යුතුයි.”
අග්‍රාමාත්‍යවරියට ව්‍යවස්ථාව පිළිබඳව දැන ගැනීමට අවශ්‍ය නම් තමන්ට හෝ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනට කියන ලෙස රනිල් වික්‍රමසිංහ එහිදී පැවසීය.
“ඔබතුමියට ව්‍යවස්ථාව ගැන දැන ගන්න ඕන නම් කියන්න මං එන්නම්. නැත්නම් අපේ හිටපු අගමැතිතුමාට කියන්න. මෙහෙම ද. රට පාලනය කරන්නේ?” රනිල් ප්‍රශ්න කළේ ය.
‘බබ්බු එක්ක මේක කරන්න බෑ’
වත්මන් රජයට රට පාලනය කිරීම සම්බන්ධයෙන් පළපුරුද්දක් නැති බවත්, පළපුරුදු දේශපාලකයින් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.
“හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ඇමති කරන්න හදනවා. ඇමතිගේ වැඩ කටයුතු නිලධාරීන්ට දෙනවා. ඒකයි කියන්නේ, පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙ පළපුරුදු අය. බබ්බු එක්ක මේක කරන්න බැහැ. පළපුරුදු අය පාර්ලිමේන්තුවට ගේන්න ඕන.”
හරිනිගෙන් දැඩි ප්‍රතිචාරයක්
මේ අතර, ඔක්තෝබර් 30 වන දා තලවතුගොඩ ප්‍රදේශයේදී පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයට දැඩි ප්‍රතිචාරයක් දැක්වීය.
‘රනිල් වික්‍රමසිංහ කියල තියෙනවා, ව්‍යවස්ථාව ගැන හරිනි දන්නෙ නෑ, ඒ නිසා ව්‍යවස්ථාව ගැන දැන ගන්න ඕන නම් එයා කියල දෙන්නම් කියලා. යන්න ද මං එයාගෙන් පාඩම් ටිකක් ඉගෙන ගන්න ව්‍යවස්ථාව ගැන? මං දන්නෙ නෑ එන එන මැතිවරණයෙන් පරාජය වෙනවා. 17 පාරක් ප්‍රතික්ෂේප වෙලා තාම යන්නෙ නෑ. එල්ලි එල්ලි එනවා. ලොකු ම විහිළුව රනිල් වික්‍රමසිංහ කියනවා, එයාට පුළුවන් ලු ව්‍යවස්ථාව ගැන කියල දෙන්න. ව්‍යවස්ථාවේ මූලිකව ම තියෙනවා, ජනතාවට පරමාධිපත්‍ය බලය තියෙනවා කියලා. මේකවත් තේරුම් ගත්තෙ නැති රනිල් දන්න ව්‍යවස්ථාව මොකක් ද කියල මම නම් දන්නෙ නෑ. ඒක හරියට දන්න කෙනෙක් මැතිවරණ කල් දාන්නෙ නෑ. ව්‍යවස්ථාව දන්න කෙනෙක් ව්‍යවස්ථා සභාවේ තීන්දු තීරණවලට පයින් ගහන්නෙ නෑ.”
“එයා කියනවා, නිලධාරීන්ගෙන් උපදෙස් ගන්න ඕන නෑ ව්‍යවස්ථාව අනුව වැඩ කරනවා නම් කියලා. ඒක එයාගේ විදිහ නේ. අපි නම් කවුරුවත් හිතන්නෙ නෑ අපි සියලු දේ ම දන්න, කාටවත් ඇහුම්කන් නොදී තමන්ට ඕන විදිහට රටක් පාලනය කරන්න ඕන කියලා. අපි රට පාලනය කරන්නෙ වෙනත් සංස්කෘතියක් තුළ.”
“රනිල්ගෙන් නම් කොහොමටවත් උපදෙස් අපි නම් ගන්නේ නැත. 17 වතාවක් රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක්ගෙන් මොකට ද අපි උපදෙස් ගන්නේ?”
ජනතා මුදල් අවභාවිත කළ පුද්ගලයින්ට එරෙහිව අධිකරණය ක්‍රියාත්මක වන බව ද ඇය මෙහිදී පැවසීය.
“බැංකු හොරු විතරක් නෙවෙයි, මේ රටේ ජනතා මුදල් අවභාවිත කරපු සියලු දෙනාට අධිකරණය ක්‍රියාත්මක වෙනවා.”
රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ඇතුළු අලුත් තීරණ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නා ය.
“ජනාධිපතිට ඕන විදිහට, ඇමතිට ඕන විදිහට කටයුතු කරන්න බැහැ. ඒකට තමයි පාර්ලිමේන්තුවක් තියෙන්නෙ. පාර්ලිමේන්තුවට ගිහිල්ලා අලුත් ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තමයි මේක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ.”
කැබිනට් ප්‍රකාශකත් මැදිහත් වෙයි
මේ සම්බන්ධයෙන් වාද විවාද වර්ධනය වෙද්දී, ඔක්තෝබර් 29 වන දා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී ද ප්‍රශ්න කෙරිණි.
ඊට ඔහු දුන් පිළිතුර මෙසේ ය.
“හිටපු ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා විදිහට කැබිනට් මණ්ඩලයට යෝජනා කරලා තීන්දුවක් අරන් තිබුණා, වැටුප් වැඩි කරන්න. හැබැයි ඒ වැටුප් වැඩි කරන්න මුදල් අමාත්‍යංශය සතුව මහා භාණ්ඩාගාරයේ සල්ලි තියෙනවා ද? කියල හොයල බැලුවේ නෑ. අවුරුදු හතලිස් ගාණක් පාර්ලිමේන්තුවේ හිටිය පුද්ගලයෙක් විදිහට එතුමා ඒ කරපු දේ වැරදි යි.”
වැටුප් වැඩි කිරීම
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දැරූ සමයේ එනම් පසුගිය සැප්තැම්බර් 02 වන දා ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වුණේ, 2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය 24% සිට 50% දක්වා අගයකින් ඉහළ දමන බව ය.
රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරන ලද උදය ආර්. සෙනවිරත්න සභාපතීත්වය දැරූ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි සැප්තැම්බර් 02 වන දා ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ එම මාධ්‍ය නිවේදනයේ දැක්විණි.
එහිදී පහත රජයේ සේවකයන් සඳහා වැඩි වැටුප් හිමි වීමට නියමිතව තිබිණි.
කාර්යාල සහායක තනතුරේ විවිධ ශ්‍රේණි සඳහා
රියැදුරන්
සමෘද්ධි සංවර්ධන නිලධාරීන්/ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන්
කළමනාකාර සහකාර
මහජන සෞඛ්‍ය පරීක්ෂක/ පවුල් සෞඛ්‍ය සේවිකා
විකිරණවේදී/ ඖෂධවේදී
හෙද නිලධාරී
විදුහල්පති
ගුරු සේවය
පොලිස් නිලධාරී
ග්‍රාම නිලධාරී
පරිපාලන සේවය
නියෝජ්‍ය අධ්යක්ෂ/ නියෝජ්‍ය කොමසාරිස්
ප්‍රාදේශීය ලේකම්/ අධ්යක්ෂ/ කොමසාරිස්/ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්
වෛද්‍ය නිලධාරීන්
රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන, විශ්ව විද්‍යාල සහ ත්‍රිවිධ හමුදාවල සේවය කරන්නන්
වැටුප් වැඩි කරන්න අනුමැතිය ලැබුණා ද?
උදය ආර්. සෙනෙවිරත්නගේ සභාපතිත්වයෙන් යුතු ‘රාජ්‍ය අංශයේ වැටුප් හා දීමනා ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන විශේෂඥ කමිටුවේ වාර්තාව අනුව රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමට අදාළ කැබිනට් පත්‍රිකාවට 2024 අගෝස්තු මස 22 වන දා අනුමැතිය ලැබී තිබිණි.
ඒ අනුව, ‘2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව සඳහා අවශ්‍ය කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම පිළිබඳ මහා භාණ්ඩාගාරයේ එකඟතාව සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වමින් ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න පැවසූ,’ බව එවකට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.
මේ අතර, 2024 සැප්තැම්බර් 04 වන දා එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීම සඳහා වන ප්‍රතිපාදන 2025 වසර සඳහා ඉදිරිපත් කෙරෙන අයවැයෙන් මුදල් වෙන් කෙරෙන බව ය.
මේ අතර, එවකට මුදල් අමාත්‍යංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන 2024 සැප්තැම්බර් මාසයේදී එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000කින් ඉහළ දැමීම සඳහා රු. බිලියන 140ක් අවශ්‍ය වන බව ය.
එම මුදල උපයා ගැනීමට නම් වැට් බද්ද 3%කින් ඉහළ දැමීමට සිදු වනු ඇති බව ද ඔහු පැවසීය.
මේ අතර, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති නීතිඥ සාලිය පීරිස් බීබීසී සිංහල සේවයට පැවසුවේ, වැටුප් වැඩි කිරීමට යෝජනාවක් සම්මත වුව ද, ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ගැනීම කළ යුතු බව ය.
එසේ නැතහොත් අදාළ යෝජනා ක්‍රියාත්මක කළ නොහැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරි වසර දෙකක කාල සීමාව සඳහා නිලධාරීන් තෝරාපත් කරගැනීමට පැවැත්වෙන නිලවරණය සඳහා නාම යෝජනා භාරගැනීම පෙරේදා (22) අවසන් විය.
ඖෂධ මිළ අඩු කිරීම සඳහා නව මිල පාලන යාන්ත්‍රණයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.