CLOSE

ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමග දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බැවින් ජීවිත හානි වළක්වා ගැනීම සහ ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ආපදාවට සහ අවදානමට ලක්වූ දිස්ත්‍රික්කවල මහජන නියෝජිතයන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇත්තේ අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලිම වෙනුවෙන් අද (27) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි.

තම දිස්ත්‍රික්කවලට ගොස් පීඩාවට පත් ජනතාව පිළිබඳ සොයා බලන ලෙස මෙහිදී මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්කර ඒ ඒ දිස්ත්‍රික්කවල සහ ප්‍රදේශවල පවතින අවදානම් තත්ත්වය සහ ඉදිරියේදී සිදුවිය හැකි ආපදා තත්ත්වයන් හඳුනාගනිමින් ජනතාවට අවශ්‍ය ආරක්ෂාව සහ සහන සැලසීමට යුහුසුළුව මැදිහත්වන ලෙසද පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එහිදී, මන්ත්‍රීවරුන්ට තම දිස්ත්‍රික්කවලට ගොස් එම ජනතාවට සහන සැලසීමට මැදිහත් වීමේදී අයවැය විවාද සහ පාර්ලිමේන්තු කටයුතු බාධාවක් බැවින් අද ප.ව 2.00 පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට තීරණය වී ඇත.

මෙහිදී ප්‍රධාන වශයෙන්ම ජනතාවගේ ආරක්ෂාව සහ මුදා ගැනීමේ කටයුතු පිළිබඳව සහ පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය ඇතුළු සහන සේවා අඛණ්ඩව සැපයීම පිළිබඳ මෙහිදී  දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

එමෙන්ම උසස් පෙළ විභාගය පැවැත්වීම සහ අධ්‍යාපන කටයුතු ඉදිරියට පත්වාගෙන යාමේ ගැටලු පිළිබඳවද විශේෂ අවධානය යොමු කර ඇත.

විපතට පත් ජනතාවට සහන සැලසීමේදී සහන සේවා කඳවුරු වෙත පැමිණි ජනතාව, නිවාසවල සිරවී සිටින ජනතාව මෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් ඥාතී නිවාසවල රැදී සිටින ජනතාව සඳහා පිසු ආහාර සහ වියළි සලාක අඛණ්ඩව ලබා දීමට මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා විනාශයට පත් නිවාස සහ වගා බිම් සඳහා වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් පිළිබඳවද අවධානය යොමු කර තිබේ.

එමෙන්ම වාරිමාර්ග පද්ධතිය සහ එහි සුරක්ෂිතභාවය මෙන්ම  නාය යාමේ අවදානම ඇති ප්‍රදේශවල මහා මාර්ග පද්ධතියේ ආරක්ෂාව පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇත.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.