ඇමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව, LGBTQ ප්‍රජාව මෙන්ම සංක්‍රමණික ජනතාවද ද්වේශ සහගත ලෙස අනතුරේ හෙලමින් විධායක නියෝග නිකුත් කළ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ගේ ක්‍රියාකලාපය ඔහු ඉදිරියේ දීම වොෂින්ටනයේ කිතුනු සභා නායිකාවක විසින් අභියෝගයට ලක්කර තිබේ.

ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩල අනුමැතියකින් තොරව ෆෙඩරල් රජයට ජනාධිපතිවරයා විසින් මෙම ලිඛිත නියෝග නිකුත් කරන අතර, ඒ අනුව ට්‍රම්ප් දේශසීමා මුද්‍රා තැබීමේ සිට සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවේ අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කෙරෙන ප්‍රතිපත්ති ඇතුළු විධායක ක්‍රියාමාර්ග 200කට වැඩි සංඛ්‍යාවකට ඉකුත් දා අත්සන් තැබීය. 

 

වොෂින්ටන් නුවර ප්‍රධාන දෙව්මැදුරේ අඟහරුවාදා (21) පැවති ආගමික මෙහෙයක දී මේරියන් බුඩේ රදගුරුතුමිය තමන් ඉදිරියේ වාඩිගෙන සිටි ජනාධිපතිවරයා ගේ මුහුණටම කියා සිටියේ පුරවැසියන් නොවීම හෝ නිල කඩදාසි නොතිබුණ පමණින් සංක්‍රමණිකයන්ගෙන් අතිමහත් බහුතරයක් අපරාධකරුවන් නොවන බවයි. 

"ජනාධිපතිතුමනි, මට එක අවසාන ඉල්ලීමක් කරන්න ඉඩ දෙන්න," යි රදගුරු මේරියන් බුඩේ ඇගේ මිනිත්තු 15ක දේශනයේ අවසාන භාගයේ දී පැවසුවාය. 

"මිලියන ගණනක් ඔබ කෙරෙහි විශ්වාසය තබා තියෙනවා. ඔබ ඊයේ ජාතියට කියූ පරිදි, ඔබ වෙත දෙවියන් වහන්සේගේ හස්තය දිගු වෙලා. අපගේ දෙවියන් වහන්සේගේ නාමයෙන්, මේ අවස්ථාවේ බියට පත්ව සිටින අපේ රටේ ජනතාවට අනුකම්පා කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා." 

දෙවැනි වරටත් එක්සත් ජනපදයේ පාලකයා වීමට රිපබ්ලිකන් පක්ෂ නායක ට්‍රම්ප්ට ඡන්දය දුන් ජනතාවත් ජනාධිපති ආඥාවෙන් දුකට පත්වෙන බව රදගුරුතුමිය පෙන්වා දුන්නාය. 

“ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පාක්ෂිකයින් ගේ පවුල් සහ ස්වාධීන පවුල්වල සමකාමී සහ සංක්‍රාන්ති ලිංගික දරුවන් ඉන්නවා, ඔවුන්ගෙන් සමහරක් තමන්ගේ ජීවිත ගැන බයවෙලා.” 

trump-rules.jpg

 

මෙය සිදු වූයේ ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් රජයේ සන්නිවේදන, සිවිල් අයිතිවාසිකම්, ආරක්ෂණ, ෆෙඩරල් අරමුදල්, විදේශ ගමන් බලපත්‍ර සහ වීසා වැනි නිල ලේඛනවලට මෙන් ම බන්ධනාගාර සම්බන්ධ සංක්‍රාන්ති ලිංගික ප්‍රතිපත්තියට දැඩිව බලපෑම් කෙරෙන "කාන්තාවන් සහ පුරුෂයින් යන දෙපිරිස පමණක්" හඳුනා ගන්නා බවට වූ විධායක නියෝගයක් ද, දකුණු දේශසීමා ආශ්‍රිතව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරමින්, අමෙරිකාවේදී උපත ලැබූ දරුවන්ට ස්වයංක්‍රීයව පුරවැසිභාවය ලැබීම අහෝසි කිරීම ඇතුළු සංක්‍රමණිකයන් ඉලක්ක කරගත් විධායක නියෝග ගණනාවක් නිකුත් කිරීමෙන් දිනකට පසුවය. 

"අපේ වගාවේ අස්වනු නෙලන, කාර්යාල ගොඩනැගිලි පිරිසිදු කරන; කුකුළු ගොවිපොළ සහ මස් ඇසිරුම් කම්මල්වල වැඩ කරන; අපි අවන්හලක කෑම කෑ පසු ඉඳුල් පිඟන් සෝදන; රෝහල්වල රෑ වැඩමුරවල වැඩ කරන, ඔවුන් - ඔවුන්ට හරිහමන් ලියකියවිලි නැතිවෙන්න පුළුවන්, පුරවැසියෝ නොවෙන්න පුළුවන්. ඒත් සංක්‍රමණිකයන්ගෙන් අතිමහත් බහුතරයක් අපරාධකරුවන් නොවේ. ඔවුන් බදු ගෙවනවා ඒවගේම හොඳ අසල්වැසියෝ," යි බුඩේ පැවසුවාය.      

රදගුරු මේරියන් බුඩේ විසින් මින්පෙර ද ට්‍රම්ප් ගේ ක්‍රියා කලාපය දෝෂ දර්ශනයට ලක්කර තිබුණි. පොලිස් භටයෙකු විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයාගේ ගෙල දණහිසට හිර කරනු ලැබීමෙන් සිදු වූ මරණයට එරෙහිව 2020 වසරේ පැවති විරෝධතා මධ්‍යයේ ධවල මන්දිරය අසල ලෆයෙට් චතුරශ්‍රයේ උද්ඝෝෂණයේ නිරත පිරිස් පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඉවත් කිරීමෙන් පසු, ට්‍රම්ප් බයිබලයක් අතැතිව ශාන්ත ජෝන් දේවස්ථාන භූමියේ ඡායාරූප සඳහා පෙනී සිටීම ඇය විසින් හෙළාදැක තිබුණි.   

"ඔහු පැවසූ සහ කළ සෑම දෙයකම අරමුණ වුණේ ප්‍රචණ්ඩත්වය අවුලුවාලීම පමණයි... අපට සදාචාරාත්මක නායකත්වයක් අවශ්‍යයි, අප බෙදා වෙන් කරන්න පුළුවන් සියල්ල ඔහු කර තිබෙනවා" යනුවෙන් මේරියන් පැවසූ බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත එවකට වාර්තා කර තිබුණි. 

ට්‍රම්ප් අබියස ඇයගේ දේශනාව අවසානයේ මේරියන් මෙසේ පැවසුවාය: “ජනාධිපතිතුමනි, තම දෙමාපියන් රැගෙන යනු ඇතැයි බියෙන් පසුවෙන දරුවන් ඉන්න අයට අනුකම්පා කරන ලෙස මම ඔබෙන් උදක්ම ඉල්ලා සිටිනවා. එසේම, යුද කලාපවලින් සහ තමන්ගේම රටවල හිංසා පීඩාවලින් පලා එන අයට අනුකම්පාව සහ පිළිගැනීම ලබා ගැනීමට උපකාර කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. අපගේ දෙවියන් වහන්සේ අපට උගන්වන්නේ ආගන්තුකයාට අනුකම්පා කළ යුතු බවයි, මොකද අපි සියල්ලෝම කලක් මේ රටට ආගන්තුකයන් වූ නිසා.” 

අඟහරුවාදා දේව මෙහෙය පිළිබඳව විමසූ විට, ට්‍රම්ප් ධවල මන්දිර වාර්තාකරුවන්ට ප්‍රකාශ කර තිබුණේ, "එය හොඳ දේව මෙහෙයක් යැයි තමා සිතන්නේ නැහැ," යනුවෙනි. 
 

සටහන | අභිෂේකා වාසල බණ්ඩාර