දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

අද (26) අලුයම නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.

උතුරු-මැද පළාතේත් මාතලේ, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර ඇති වෙයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

තද සුළං මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

අදාළ නිවේදනය අද (26) රාත්‍රී 10 දක්වා වලංගුවේ.

ඒ අනුව,

අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න

කළුතර දිස්ත්‍රික්කය - වලල්ලාවිට

මාතර දිස්ත්‍රික්කය - වැලිපිටිය

අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න

ගාල්ල දිස්ත්‍රික්කය

- නාගොඩ
- ⁠ඇල්පිටිය
- ⁠බද්දේගම
- ⁠යක්කලමුල්ල

කළුතර දිස්ත්‍රික්කය:

- පාලින්දනුවර
- මතුගම

මාතර දිස්ත්‍රික්කය:

- කොටපොල

රත්නපුර දිස්ත්‍රික්කය:

- ඇලපාත
- ⁠කලවාන
- ⁠පැල්මඩුල්ල

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.