බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.

හෝ චි මිං නගර පොලිසියේ නිල පුවත්පතට අනුව, "බළලුන් සොරකම් කිරීම සහ එකතු කිරීම සඳහාම විශේෂ අපරාධ කණ්ඩායමක්" ලෙස පොලිසිය විස්තර කළ කල්ලියේ පුද්ගලයින් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සතියේ ටේ නින් පළාතේ සහ හෝ චි මිං නගරයේ ස්ථාන වැටලීම් වලදී බළලුන් 400 කට වැඩි ප්‍රමාණයක් සහ අයිස්වල  ගබඩා කරන ලද මියගිය බළලුන් 80 ක් පමණ නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී. තවත් බළලුන් 21 දෙනෙකු වෙනම ස්ථානයක දී බාරයට ගෙන ඇත.

වියට්නාමයේ සුනඛ සහ බළල් මස් පරිභෝජනය නීත්‍යානුකූල නමුත් සතුන්ගේ සම්භවය පෙන්වන බලපත්‍ර වෙළෙන්දන් සතුව තිබීම අවශ්‍ය වේ.

හෝ චි මිං නගරයේ සුරතල් සතුන් සොරකම් කිරීමේ දාමයක් විමර්ශනය කිරීමෙන් පසු ජුනි 11 වන දින ඔවුන් මෙම කල්ලිය අල්ලා ගත් බව පොලිසිය පැවසුයේ යැයි, එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය වසර තුන තුළ දකුණු වියට්නාමය පුරා බළලුන් අල්ලා එකතු කළ බව සැකකරුවන් පිළිගත් බව පොලිසිය පැවසීය. විමර්ශන නිලධාරීන්ට අනුව, සැකකරුවන් සොරකම් කරන ලද බළලුන් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කර පසුව වෙළඳුන්ට විකුණා ඇති අතර, ගනුදෙනු සෑම දින දෙකකට හෝ තුනකට වරක් සිදු වී ඇත.

සොරකම් කරන ලද බළලුන්ගෙන් 40ක් පමණ එතැන් සිට ඔවුන්ගේ අයිතිකරුවන් වෙත නැවත ලබාදී ඇති බව හියුමන් වර්ල්ඩ් ෆෝ ඇනිමල්ස් අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.