CLOSE

ගතවූ පැය 24 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර අනාවරණ කර සිටියි.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47,179ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 28කි.

සාමාන්‍යයෙන් වසංගත තත්ත්වයක් නොමැති කාලසීමාවලදී මෙරටින් දෛනිකව වාර්තා වන්නේ රෝගීන් 150ත් 200ත් අතර සංඛ්‍යාවක් වන බවත් වත්මන් අවදානම් තත්ත්වයත් සමඟ මෑතකදී දෛනිකව වාර්තා වූ රෝගීන්  සංඛ්‍යාව 600ත් 650ත් දක්වා ඉහළ ගිය බවත් ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම වෛද්‍ය කපිල කන්නන්ගර වැඩිදුරටත් අවධාරණය කරන්නේ රෝගීන් වාර්තා වීම තවදුරටත් ඉහළ යමින් පවතින බැවින් මෙම තත්ත්වය කඩිනමින් පාලනය කරගත යුතු බවය.

රෝගීන් සංඛ්‍යාව මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙරට රෝහල්වල ධාරිතාවය මේ වන විටත් ඉක්මවා ගොස් ඇති බවත් මෙය දිගින් දිගටම සිදුවුවහොත් සමස්ත රෝහල් පද්ධතියම කඩා වැටීමේ බරපතළ අවදානමක් පවතින බවත් ඔහු ප්‍රකාශ කළේය.

මීට අමතරව, රෝගීන් රැකබලා ගැනීමේදී වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද මේ වන විට දැඩි මානසික සහ ශාරීරික පීඩනයකට පත්ව සිටින බවද වෛද්‍ය කපිල කන්නන්ගර පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම දැඩි පීඩනකාරී වටපිටාව හේතුවෙන් ඉදිරියේදී රෝගී මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර ,

''ඇත්තටම රෝගීන් වාර්තා වීම සාමාන්‍ය කාලය තුළදී එනම් අවදානමක් නැති අවස්ථාවකදී සාමාන්‍යයෙන් වාර්තා වෙන්නේ 150ක්, 200ක් අතර ප්‍රමාණයක්. නමුත් දැන් මේ, මේ අවදානම් තත්ත්වය ආවට පස්සේ සාමාන්‍යයෙන් 600ක්, 650ක් පමණ දෛනිකව රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණා. නමුත් දැන් ඊයේ බැලුවහම ඒක සාමාන්‍යයෙන් 1000 ඉක්මවලා තියෙනවා. මේ රෝගීන් වාර්තා වීම තාම වැඩිවෙමින් පවතිනවා. ඉතින් මේක අපි අඩුකරගත යුතු වෙනවා. මේක අවසානයේදී බලපාන්නේ අපේ රෝහල් පද්ධතියට. එතකොට මේ රෝගීන් සංඛ්‍යාව වැඩිවීමත් එක්ක රෝහලක තියෙන ධාරිතාව ඉක්මවා ගිහින් දරා ගැනීමට නොහැකි තත්ත්වයක් ආවොත් රෝහල් පද්ධතියේ කඩා වැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව එහි ඉන්න කාර්ය මණ්ඩලය ලොකු මානසික හා ශාරීරික පීඩාවට පත් වෙනවා රෝගීන් රැක බලා ගැනීමේදී.. ඒ නිසා ඒ තුළ අපිට යම් යම් අවස්ථාවලදී මරණ සංඛ්‍යාවත් වැඩිවෙන්න පුළුවන්. අනිත් එක තමයි ඩෙංගු රෝගය පමණක් නෙවෙයි වෙනත් රෝග තිබෙනවා ජනතාවත් රෝහල් කරා පැමිණෙනවා. ඉතින් ඒ අයටත් මේක ලොකු අසාධාරණයක්.''

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.