CLOSE

Google සමාගම විසින් සිය කෘත්‍රිම බුද්ධි අවකාශය වන ‘Gemini’ හි වැඩිදියුණු කරන ලද විශේෂාංග ඇතුළු අනෙකුත් ප්‍රතිලාභ නොමිලේ ශ්‍රී ලාංකික සිසුන්ට ලබාදීමට එකඟතාව පළ කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න අවධාරණය කර තිබේ.

මෙය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ Google සමාගම අතර මාස ගණනක් පැවති සහයෝගීතා වැඩසටහනක සාර්ථක ප්‍රතිඵලයක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ AI National Expo ප්‍රදර්ශනය අද (29) ආරම්භ කරමිනි.

මෙම නව වැඩසටහන ඔස්සේ දිවයිනේ සිසුන්ට අති නවීන කෘත්‍රිම බුද්ධි මෙවලම් (AI tools), ක්ලවුඩ් පරිගණක වේදිකා (cloud computing platforms) සහ ඩිජිටල් ඉගෙනුම් සම්පත් සඳහා නොමිලේ ප්‍රවේශ වීමට පහසුකම් සැලසෙනු ඇති බව ඔහු සඳහන් කර තිබේ.

මෙම පියවර මඟින් ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි සංවර්ධනය සහ ඩිජිටල් සාක්ෂරතාවය සඳහා වන ජාතික හැකියාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරෙන අතර, එමගින් අනාගත පරම්පරාව නව්‍යකරණය සඳහා සවිබල ගැන්වීමත්, සංකීර්ණ අභියෝග විසඳීමට සහ ගෝලීය වශයෙන් තරග කිරීමට ඔවුන්ට ඉඩ සලසා දීමත් සිදුවනු ඇති බව වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මෙම වැඩසටහන කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර, වැඩිදුර තොරතුරු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරනු ඇත.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.