සිය ඉල්ලීම් 8කට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් මේ දක්වාම ලැබී නොමැති බව දැනුම් දෙමින්, "සියලුම සේවකයන්ගේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම" යනුවෙන් සඳහන් ලිපියක් ලංවිම වෘත්තීය සමිති 21ක් විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත අද (25) යොමුකර ඇත.
අදාළ ඉල්ලීම් දිනාගැනීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම හැර වෙනත් කිසිඳු විකල්පයක් සේවකයන්ට සහ එම සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති වෙත ඉතිරිව නොමැති බව ඔවුන් පවසයි.
ඒ අනුව ඉතා සාධාරණ සහ යුක්ති සහගත එම ඉල්ලීම් ඉටුකිරීම පසෙක ලා දිගින් දිගටම කල්මැරීම මෙම පැය 6ක සංකේත වැඩ වර්ජනය දියත් කිරීමට හේතු වූ බව එහි දැක්වේ.
මෙම වැඩ වර්ජනය නිසා ඇතිවන සියලුම ආකාරයේ අහිතකර ප්‍රතිඵල සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් හෝ එම සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති වග නොකියන බවත්, එහි සම්පූර්ණ වගකීම විෂය භාර අමාත්‍යවරයා සහ වත්මන් ආණ්ඩුව භාර ගත යුතුය බව අදාළ වෘත්තීය සමිති එම ලිපියෙන් දැනුම්දී සිටී.