CLOSE

මේ වසර මුලදී අහඹු ලෙස හමුවූ විශාලත්වයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ දෙවැනි තැන ගන්නා සමූහ සුසාන සංකිර්ණයෙන් ජනාධිපතිවරයා උතුරේ සංචාරය කරන ඊයේ දින (01) පුද්ගලයන් 9 දෙනකුට අයත් අස්ථි අලුතින් මතු කරගෙන තිබේ.

ජනාධිපතිවරයා පවසන්නේ චෙම්මනි මිනි වළ සම්බන්ධයෙන් සැගවීමට කිසිවක් නොමැති බවයි.

දෙවැනි අදියරේ කැනීම් කටයුතු සිදු කළ 40 වැනි දිනය වු සැප්තැම්බර් 1 වැනි සදුදා හවස් යාමය විට චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් පුද්ගලයන් 218  දෙනකුට අයත් අස්ථි මතු කරගෙන තිබේ.

ඒවායින් පුද්ගලයන් 198 දෙනකුට අයත් අස්ථි මේ වන විටත්  ගොඩ ගෙන අවසන් බවයි වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් පවසන්නේ.

තවත් මිනිස් සිරුරු සිය ගණනක් වලදමා ඇති බවට විශ්වාස කෙරෙන මෙම සමුහ සුසාන සංකීර්ණයේ පරීක්ෂණ  දිගටම කරගෙන යාම සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීම වෙනුවෙන් විමර්ශකයන් විසින් ඊයේ  දිනයේ අයවැය ඇස්තමේන්තුවක් භාරදෙන ලද බව අතුරුදහන් කරන ලද්දවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ පවසති.

නිර්බාධිතව චෙම්මනියේ විමර්ශන සිදුකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට පොරොන්දු වී ඇත්තේ අතුරුදහන් තැනැත්තන් පිලිබඳ කාර්යාලය (OMP) යි.

යාපනය මයිලිඩ්ඩි ධිවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කිරීම වෙනුවෙන් යාපනයට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 1 වැනිදා පවසා තිබුනේ චෙම්මනි සමුහ සුසානය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

"දැනුත් ආන්දෝලනයට තුඩුදී තිබෙනවා චෙම්මනි මිනි වළ. අපි ඒ පිළිබද විධිමත් විමර්ශනයක් ආරම්භ කරලා තියනවා. අපිට සඟවන්න කිසි දෙයක් නැ. හැබැයි අපි ඒවා පිළිබඳව විමර්ශනය කරන්නේ කුමක් වෙනුවෙන්ද? අනාගතයේ යලි එවැනි තත්වයක් ඇතිවීම වළක්වාගැනීම වෙනුවෙන්. "

කටුක අතීතය ස්මරණය කළ යුත්තේ ඇයිද යන්නත් ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී සදහන් කර තිබුනි.

" ඉදිරි සියවස් ගණනක අනාගතයේ කවදාවත් එවැනි තත්වයක් යළි ලංකාවේ ඇති වීමට ඉඩ නොදිය යුතුයි. ඒ සදහා අපි ඒවා පාඩම් ලෙස ගන්න ඕන. ඒ කටුක අතීතය අපි ස්මරණය කරන්න ඕන කුමක් වෙනුවෙන්ද ? නැවත එවැනි තත්වයක් ඇතිවීම වළක්වා ගැනීම වෙනුවෙන්. මේ වෙලාවේ ජීවත් වන අපේ වගකීම කුමක්ද? අනාගතයේ එවැනි තත්වයක් ඇතිවීම වළක්වා ගැනීම. "

සමූහ මිනීවල පිහිටි සිද්ධුපත්ති සුසාන භුමියේ ඉදිකිරීම් කටයුත්තක් සිදු කිරීමට යෑමේදී 2025 වසරේ පෙබරවාරි 13 වැනිදා මිනිස් අස්ථියක් හමුව තිබුනි.

එම අස්ථි කොටස් පරීක්ෂාව සඳහා යාපනයේ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන් සමග පැමිණි මහේස්ත්‍රාත් ඒ ඒ ආනන්දරාජා විසින් ඒවා මිනිස් සිරුරු කොටස් දැයි විමර්ශනය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියාට භාරදෙන ලෙස පෙබරවාරි 20 වැනිදා පොලිසියට නියෝග කළේය.

අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025  මැයි 15 වැනිදායි.

ශ්‍රී  ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල දරුවන් 28ක ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.

theleader.lk

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.